අනතුරු ව එම තැවුලෙන් පසු ව නුඹලා වෙත අභයදායීත් ව ද නුඹලා අතුරින් පිරිසක් ආවරණය කරන සුළු නින්ද ද ඔහු පහළ කළේය. තවද පිරිසක් තමන් කෙරෙහි ම ශෝකය ඇති කර ගත්තේය. ඔවුහු අඥාන අනුමානයන් මෙන් අල්ලාහ් ගැන සත්‍ය නොවන දෑ සිතන්නෝය. මෙම විෂයෙහි යම් (ජයග්‍රාහී) කරුණක් අපට නොවන්නේ දැ යි පවසන්නෝය. සියලු කරුණු අල්ලාහ්ට යැයි පවසනු. නුඹට හෙළි නොකරන දෑ ඔවුහු ඔවුන්ගේ ආත්මාවන් තුළ සඟවා ගන්නෝය. අපට මෙම විෂයෙහි යම් බලයක් වී නම් අපි මෙහි මරුමුවට පත් නොවන්නෙමු යැයි පවසන්නෝය. නුඹලා නුඹලාගේ නිවෙස් වල සිටිය ද ඝාතනය කරනු ලැබීම නියම වූවන් ඔවුන් (මැරී) වැටිය යුතු ස්ථානයට පැමිණෙන්නේමය. තවද එය නුඹලාගේ හදවත් තුළ ඇති දෑ ඔහු පිරික්සනු පිණිස ය. තවද නුඹලාගේ සිත් තුළ ඇති දෑ පැහැදිලි කරනු පිණිස ය. හදවත් තුළ ඇති දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව ඥානී ය.