الترجمة السنهالية වෙතින් السنهالية භාෂාවෙන් සූරා الحشر හි පරිවර්තනය
Verse 1
අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ අල්ලාහ් ව සුවිශුද්ධ කරති. තවද ඔහු මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරියාණන්ය.
සේනාවේ පළමු රැස්වීමේදී දේව ග්‍රන්ථ ලත් ජනයා අතුරින් ප්‍රතික්ෂේප කළවුන් ඔවුන්ගේ නිවෙස් වලින් පිටුවහල් කළේ ඔහුය. ඔවුන් පිටුවහල් වී යනු ඇතැයි නුඹලා නොසිතූහ. තවද තම බලකොටු අල්ලාගෙන් තමන් ආරක්ෂා කරනු ඇතැයි ඔවුහු සිතුවෝය. එවිට අල්ලාහ්(ගේ ප්‍රකෝපය) ඔවුන් නොසිතූ පරිදි ඔවුන් වෙත පැමිණියේය. ඔවුන්ගේ සිත් තුළ බිය ඇති කළේය. එහෙයින් ඔවුන්ගේ නිවෙස් ඔවුන්ගේම අත්වලින් හා දේව විශ්වාසවන්තයින්ගේ අත්වලින් විනාශ කර දැමුවෝය. අහෝ ප්‍රඥසම්පන්න අයලුවනි! (මෙයින්) නුඹලා පාඩමක් ලබා ගනු.
Verse 3
එසේ පිටුවහල් කිරීම ඔවුනට අල්ලාහ් නියම කර නොතිබුණේ නම් මෙලොවෙහිම ඔහු ඔවුනට සැබැවින්ම දඬුවම් කරන්නට තිබුණි. තවද ඔවුනට මතු ලොවෙහි (නිරා) ගින්නේ දඬුවම ඇත.
Verse 4
එය ඔවුහු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට විරුද්ධ ව ක්‍රියා කළ බැවිණි. තවද කවරෙකු අල්ලාහ්ට විරුද්ධ වන්නේ ද එවිට නියත වශයෙන්ම අල්ලාහ් දඬුවම් දීමෙහි දැඩිය.
Verse 5
නුඹලා යම් රට ඉඳි ගසක් කපා දැමුව ද එසේ නැතහොත් එය එහි මුල් මත තිබෙන්නට හැරිය ද එය අල්ලාහ්ගේ අනුමැතියෙනි. තවද පාපතරයින්ට ප්‍රතිවිපාක දෙනු පිණිසය.
Verse 6
ඔවුන්ගෙන් තම දූතයාණන්හට අල්ලාහ් කවර යෙදක් පිරිනැමූවේද ඒ(වා ලබා ගැනීම) සඳහා නුඹලා අශ්වයින් හෝ ඔටුවන් හෝ දක්කාගෙන ගියේ නැත. නමුත් අල්ලාහ් තමන් අභිමත කරන අය වෙත තම දූතවරුන්ට බලය පවරනු ඇත. තවද අල්ලාහ් සියලු දෑ කිරීමෙහි ශක්තිය ඇත්තාය.
ගම් වාසීන්ගෙන් අල්ලාහ් තම දූතයාණන්ට යුද සම්පත් වශයෙන් ලබා දුන් දෑ වනාහි එය අල්ලාහ්ට ද ඔහුගේ දූතයාණන්ට ද සමීප ඥාතීන්ට ද අනාථයින්ට ද දුගියන්ට ද මගියන්ට ද හිමිය. එය නුඹලා අතුරින් වූ ධනවතුන් අතර පමණක් පරිහරණය නොවනු පිණිසය. තවද රසූල්වරයා නුඹලාට කුමක් පිරිනැමුවේ ද එය නුඹලා ගනු. තවද ඔහු නුඹලාට කුමක් වැළැක්වූයේ ද නුඹලා වැළකී සිටිනු. තවද අල්ලාහ්ට බිය බැතිමත් වනු. නියත වශයෙන්ම අල්ලාහ් දඬුවම් දීමෙහි දැඩිය.
Verse 8
ඔවුන්ගේ (උපන්) නිවෙස් වලින් හා ඔවුන්ගේ වස්තුවෙන් පිටුවහල් කරනු ලැබූ දිළිඳු මුහාජිර්වරුන්ට ද කොටසක් හිමිය. ඔවුහු අල්ලාහ්ගෙන් වූ අනුග්‍රහය හා තෘප්තිය සොයති. තවද ඔවුහු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට උදව් කරති. ඔවුහුමය සත්‍යවාදීහු.
Verse 9
තවද (මදීනාවෙහි) වාසස්ථානය හා ඔවුනට පෙර විශ්වාසය සලසා ගත්තවුන්ට ද (අන්සාරිවරුන්ටද) කොටසක් හිමිය. උපන් දේශයෙන්) නික්ම වී ඔවුන් වෙත පැමිණි (මුහාජිර්) අය ව ඔවුහු ප්‍රිය කරති. ඔවුනට දෙනු ලැබූ දෑ පිළිබඳ ව අවශ්‍යතාවක් ඔවුන්ගේ සිත් තුළ දකින්නට නොවීය. තමන්ට අවශ්‍යතාවක් තිබුණ ද, තමන්ට වඩා ඔවුනට මුල්තැන දෙති. කවරෙකු තම සිත මසුරුකමින් ආරක්ෂා කරනු ලබන්නේ ද එවිට ඔවුහුමය ජයග්‍රාහකයෝ.
Verse 10
ඔවුනට පසු ව පැමිණියවුන් ‘අපගේ පරමාධිපතියාණනි! අප හා දේව විශ්වාසයෙන් අපට පෙර ඉකුත් ව ගිය අපගේ සහෝදරයින්ට සමාව දෙනු මැනව! විශ්වාස කළවුන් පිළිබඳ ව ද්වේෂයක් අපගේ සිත් තුළ ඇති නොකරනු මැනව! අපගේ පරමාධිපතියාණනි! නියත වශයෙන්ම නුඹ සෙනෙහෙවන්තය මහා කාරුණාන්විතය යැයි පවසති.
Verse 11
“නුඹලා බැහැර කරනු ලබන්නෙහු නම් අප ද නුඹලා සමග බැහැර වන්නෙමු. නුඹලා විෂයයෙහි කිසිවිටෙක කිසිවකුට අපි අවනත නොවන්නෙමු. නුඹලා පහර දෙනු ලැබුවෙහු නම් අපි නුඹලාට උදව් කරන්නෙමු” යැයි දේව ග්‍රන්ථ ලැබූවන් අතුරින් ප්‍රතික්ෂේප කළා වූ ඔවුන්ගේ සහෝදරයින්ට පවසන කුහකයින් දෙස නුඹ නොදුටුවෙහි ද? තවද නියත වශයෙන්ම ඔවුහු බොරුකාරයෝ යැයි අල්ලාහ් සාක්ෂි දරයි.
Verse 12
ඔවුන් බැහැර කරනු ලැබුවේ නම් ඔවුන් සමග (කුහකයින් වන) මොවුහු බැහැර නොවෙති. තවද ඔවුනට පහර දෙනු ලැබුවේ නම් මොවුහු ඔවුනට උදව් නොකරති. සැබැවින්ම ඔවුන් උදව් කළේ නම්, තවද ඔවුහු ආපස්සට හැරී යනු ඇත. පසු ව ඔවුහු උදව් කරනු නොලබති.
Verse 13
අල්ලාහ්ට වඩා නුඹලා කෙරෙහි දැඩි බියක් ඔවුන්ගේ හදවත් තුළ පවතී. එය නියත වශයෙන්ම ඔවුන් වටහා නොගන්නා පිරිසක් බැවිනි.
Verse 14
ආරක්ෂිත ගම්මානයන් තුළ සිට හෝ බැමි වලට පසුපසින් සිට හෝ මිස නුඹලා සමග එක් ව ඔවුහු සටන් නොකරති. ඔවුන්ගේ සතුරුකම ඔවුන් අතර ප්‍රබලය. ඔවුන් එක් ව සිටිනු ඇතැයි නුඹ සිතන්නෙහිය. නමුත් ඔවුන්ගේ හදවත් භින්න වී ඇත. එය ඔවුන් අවබෝධ කර ගන්නා පිරිසක් නොවන බැවිනි.
Verse 15
ඔවුහු ඔවුනට පෙර සමීපයෙන් බැහැරවූවන් මෙනි. ඔවුන්ගේ විෂයයෙහි වූ දඬුවම ඔවුහු භුක්ති වින්දෝය. තවද (මතු ජීවියෙහි) ඔවුනට වේදනීය දඬුවමක් ද ඇත.
Verse 16
(කුහකයෝ) ෂෙයිතාන්ගේ උපමාවට සමානය. එනම් “නුඹ ප්‍රතික්ෂේප කරනු” යැයි ඔහු මිනිසාට කී විට එසේ (මිනිසා වන) ඔහු ප්‍රතික්ෂේප කළ කල්හි “නියත වශයෙන්ම මම නුඹෙන් ඉවත් වූයෙක්මි. ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ට නියත වශයෙන්ම මම බිය වෙමි” යැයි ඔහු (ෂෙයිතාන්) පවසයි.
Verse 17
ඔවුන් දෙදෙනාගේ අවසානය, නියත වශයෙන්ම ඔවුන් දෙදෙනා (නිරා) ගින්නට වනු ඇත. ඔවුහු එහි සදාතනිකයින්ය. තවද එය අපරාධකරුවන්ගේ ප්‍රතිවිපාකයයි.
Verse 18
අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. සෑම ආත්මයක්ම හෙට දිනට තමා ඉදිරිපත් කළේ කුමක්දැ යි බලත්වා ! තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය.
Verse 19
තවද නුඹලා අල්ලාහ් ව අමතක කළවුන් මෙන් නොවනු. එහෙයින් ඔහු ඔවුන් ගැන ඔවුනටම අමතක කෙරෙව්වේය. ඔවුහුමය (අකීකරු) පාපතරයින් වන්නෝ.
Verse 20
(නිරා) ගින්නේ වාසීහු හා (ස්වර්ග) උයනේ වාසීහු සමාන නොවෙති. ස්වර්ග උයනේ වාසීහු වන ඔවුහුමය ජයග්‍රහකයෝ.
Verse 21
මෙම කුර්ආනය අපි කන්දක් මතට පහළ කළෙමු නම් අල්ලාහ් ගැන වූ බිය හේතුවෙන් එය දෙදරා යමින් යටහත් වනු නුඹ දකිනු ඇත. එම උපමාවන් අපි ඔවුන් වටහා ගත හැකි වනු පිණිස ඒවා අපි ඔවුනට ඉදිරිපත් කරන්නෙමු.
Verse 22
ඔහුය අල්ලාහ්. ඔහු වනාහි ඔහු හැර වෙනත් කිසිදු දෙවිඳෙකු නොමැත. ගුප්තය හා දෘශ්‍යමාන දෑ පිළිබඳ සර්ව ඥානීය. ඔහු අපරමිත දයාන්විත අසමසම කරුණාන්විතය.
Verse 23
ඔහුය අල්ලාහ්. ඔහු වනාහි ඔහු හැර වෙනත් කිසිදු දෙවිඳෙකු නොමැත. ඔහු රජුය. පාරිශුද්ධය. සාමය ඇති කරන්නාය. අභයදායීය. සංරක්ෂකය. සර්ව බලධාරීය. මහෝදරයාණන්ය. ඔවුන් ආදේශ කරන දැයින් අල්ලාහ් සුවිශුද්ධය.
Verse 24
ඔහු අල්ලාහ්ය. මැවුම්කරුය. උත්පාදකය. මූර්තිකරුය. ඔහුට අලංකාර නාමයන් ඇත. අහස්හි හා මහපොළොවේ ඇති දෑ ඔහු සුවිශුද්ධ කරති. තවද ඔහු සර්ව බලධාරීය. මහා ප්‍රඥාවන්තය.
تقدم القراءة