الترجمة السنهالية වෙතින් السنهالية භාෂාවෙන් සූරා يوسف හි පරිවර්තනය
Verse 1
ﮢﮣﮤﮥﮦﮧ
ﮨ
අලිෆ්, ලාම්, රා. එය පැහැදිලි දේව ග්‍රන්ථයේ වදන් වෙයි.
Verse 2
ﮩﮪﮫﮬﮭﮮ
ﮯ
නුඹලා වටහා ගත හැකි වනු පිණිස නියත වශයෙන්ම අපි එය අරාබි බසින් පාරායනය කරන්නක් ලෙස පහළ කළෙමු.
Verse 3
තවද නුඹ මීට පෙර අනවධානී ව සිටි අය අතුරින් වුව ද අපි නුඹ වෙත හෙළිදරව් කළ දැයින් මෙම කුර්ආනයේ කතාන්තර අතුරින් වඩාත් අලංකාර දෑ අපි නුඹට කියවා පෙන්වන්නෙමු.
Verse 4
‘මාගේ පියතුමනි, නියත වශයෙන්ම මම ග්‍රහ තාරකා එකොළහක් ද හිරු හා සඳු ද දුටුවෙමි. ඒවා මට සුජූද් කරන්නාක් මෙන් මම දුටුවෙමි’ යැයි යූසුෆ් තම පියාණන්ට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
Verse 5
‘මාගේ පුතණුවනි, නුඹේ සිහිනයේ කතාව නුඹ නුඹගේ සහෝදරයින්ට නොකියනු. එවිට ඔවුහු යම් කුමන්ත්‍රණයකින් නුඹට කුමන්ත්‍රණය කරනු ඇත. නියත වශයෙන්ම ෂයිතාන් මිනිස් වාර්ගයාට පැහැදිලි සතුරෙකි.’ යැයි ඔහු කීවේය.
Verse 6
එලෙසය නුඹගේ පරමාධිපති නුඹ ව තෝරා ගෙන ඇත්තේ. තවද සිදුවීම් වල යථාර්ථය නුඹට ඔහු උගන්වනු ඇත. තවද මීට පෙර නුඹගේ පියවරුන් දෙපළ වන ඉබ්‍රාහීම් හා ඉස්හාක්ට ඔහු එය පූර්ණවත් කළාක් මෙන් නුඹ වෙතත් යඃකූබ්ගේ පරපුර වෙතත් එය පූර්ණවත් කරනු ඇත. නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති සර්ව ඥානීය. සියුම් ඥානය ඇත්තාය.
Verse 7
සැබැවින්ම යූසුෆ් හා ඔහුගේ සහෝදරයින් විෂයෙහි විමසන්නන්හට සංඥාවන් තිබේ.
Verse 8
‘අපි කණ්ඩායමක් වශයෙන් සිටිය දී අපට වඩා අපගේ පියාණන් වෙත යූසුෆ් හා ඔහුගේ සහෝදරයා ප්‍රිය මනාප වී ඇත. නියත වශයෙන්ම අපගේ පියාණන් පැහැදිලි නොමගෙහිය’ යැයි ඔවුහු පැවසුවෝය.
Verse 9
නුඹලා යූසුෆ් ව මරා දමනු. නැතහොත් නුඹලාගේ පියාගේ තෘප්තිය නුඹලා වෙත පමණක් වනු පිණිස යම් භූමි භාගයක ඔහු ව විසි කර දමනු. ඔහුගෙන් පසු ව දැහැමි පිරිසක් බවට නුඹලා වනු ඇත.
Verse 10
ඔවුන් අතුරින් කතා කරන්නෙකු මෙසේ පවසා සිටීය. නුඹලා (යමක්) කරන්නන් ලෙස සිටින්නෙහු නම් නුඹලා යූසුෆ් ව මරා නොදමනු. තවද නුඹලා ඔහු ව (පාළු) ළිං අඳුරට හෙළනු. ඇතැම් නඩයන් ඔහු ව අහුළා ගනු ඇත.
Verse 11
අහෝ පියතුමනි, යූසුෆ් සම්බන්ධයෙන් ඔබ අප ව විශ්වාස නොකර සිටීමට ඔබට කුමක් වී ද? නියත වශයෙන්ම අපි ඔහුට (යහපත සලසා) ආරක්ෂා කරන්නන් වෙමු යැයි ඔවුහු පැවසූහ.
Verse 12
ඔහු විනෝද වන්නටත් සෙල්ලම් කරන්නටත් හෙට දින අප සමග ඔහු එවනු. තවද නියත වශයෙන්ම අපි ඔහු ව ආරක්ෂා කරන්නෝ වෙමු.
Verse 13
නුඹලා ඔහු කැටුවාගෙන යෑම නියත වශයෙන්ම මා දුකට පත් කරනු ඇත. තවද නුඹලා ඔහු ගැන නොසැලකිල්ලෙන් සිටිය දී වෘකයා ඔහු ව කා දමනු ඇතැයි මම බිය වෙමි යැයි ඔහු පැවසීය.
Verse 14
අපි කණ්ඩායමක් ලෙස සිටිය දී වෘකයා ඔහු ව කා දැමුවේ නම් නියත වශයෙන්ම අපි එවිට අලාභවන්තයෝ වෙමු යැයි ඔවුහු පැවසූහ.
Verse 15
ඔවුහු ඔහු ව කැටුවා ගෙන ගිය කල්හි ඔවුහු ඔහු ව ළිං අඳුරෙහි තබන්නට එක් වූහ. තවද නියත වශයෙන්ම ඔවුන් නොහඟමින් සිටිය දී ඔවුන්ගේ මෙම විෂයය සම්බන්ධයෙන් නුඹ ඔවුනට දන්වා සිටිනු ඇතැයි ද අපි ඔහු (යූසුෆ්) වෙත දන්වා සිටියෙමු.
Verse 16
ﭤﭥﭦﭧ
ﭨ
තවද ඔවුහු හඩා වැළපෙමින් සවස් කාලයේ ඔවුන්ගේ පියාණන් වෙත පැමිණියෝය.
Verse 17
‘අපගේ පියාණනි, නියත වශයෙන්ම අපි ගොස් තරඟ වැදුනෙමු. අපගේ භාණ්ඩ සමග යූසුෆ් ව ද අත හැර දැමුවෙමු. එවිට වෘකයා ඔහු ව කා දැමුවේය. අපි සත්‍යවාදීන් ව සිටිය ද ඔබ අප ව විශ්වාස කරන්නකු නොවනු ඇතැයි’ ඔවුහු පැවසුවෝය.
Verse 18
ව්‍යාජ ලේ ඔහුගේ කමිසය මත තවරා ගෙන ආවෝය. (එවිට) නුඹලාගේ ආත්මාවන් නුඹලාට මෙය අලංකාරවත් කළේය. එබැවින් (මා කළ යුත්තේ) අලංකාර ඉවසීමය. තවද අල්ලාහ් නුඹලා වර්ණනා කරන දෑ කෙරෙහි උදව් පතනු ලබන්නාය. (එහෙයින් මම ඔහුගෙන්ම උදව් පතමි.) යැයි ඔහු පැවසීය.
Verse 19
තවද (වෙළෙඳ) නඩයක් පැමිණියේය. ඔවුනට ජලය සපයන්නා ව ඔවුහු එවුහ. එවිට ඔහු ඔහුගේ පනිට්ටු ව (ළිඳට) දැමුවේය. ‘අහෝ ශුභාරංචියකි. මෙන්න, දරුවෙකි’ යැයි ඔහු පැවසුවේය. තවද (ළිඳෙන් පිටත ගත්) ඔවුහු වෙළඳ භාණ්ඩයක් ලෙසින් ඔහු ව ද සඟවා ගත්තෝය. ඔවුන් සිදු කරන දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව ඥානීය.
Verse 20
තවද ඔවුහු අඩු වටිනාකමට නියමිත රිදී කාසි වලට ඔහු ව විකුණා දැමුවෝය. තවද ඔහු සම්බන්ධයෙන් ඔවුහු උදාසීනයින් අතුරින් වූහ.
Verse 21
ඊජිප්තුවේ ඔහු ව මිලට ගත් අය තම බිරිය අමතා මොහු ව මොහුගේ ස්ථානයේ සිට ආදරයෙන් රැක බලා ගන්න. මොහු අපට ප්‍රයෝජනවත් වන්නට පුළුවන. එසේ නැතහොත් අපගේ දරුවකු වශයෙන් ගනිමු යැයි පැවසුවේය. එලෙසය අපි යූසුෆ්ට පොළොවේ පහසුකම් සැලැස්වූයේ. තවද අපි ඔහුට සිදුවීම් වල යථාර්ථය (අවබෝධ කර ගන්නට) ඉගැන් වූයෙමු. තවද අල්ලාහ් ඔහුගේ නියෝගය (ක්‍රියාත්මක කිරීම) මත බලය දරන්නාය. නමුත් ජනයා අතුරින් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති.
Verse 22
ඔහු පරිණතභාවයට පත් වූ කල්හි අපි ඔහුට ප්‍රඥාව හා ඥානය පිරිනැමුවෙමු. එලෙසය දැහැමියන්ට අපි ප්‍රතිඵල පිරිනමනුයේ.
Verse 23
ඇය ඇයගේ නිවසේ විසූ ඔහු ව (කාමයේ වරදවා හැසිරෙන්නට) පෙලඹුවාය. ඇය දොරටු වැසුවාය. තමන් අසලට පැමිණෙන්නැයි පැවසුවාය. අල්ලාහ්ගේ ආරක්ෂාව පතමි නියත වශයෙන්ම මාගේ පරමාධිපති මාගේ ස්ථානය අලංකාරවත් කළේය. නියත වශයෙන්ම අපරාධකරුවෝ ජය නොලබති යැයි ඔහු පැවසීය.
Verse 24
ඇය ඔහු සමග (කාමයේ වරදවා හැසිරෙන්නට) උත්සාහ දැරුවාය. ඔහුගේ පරමාධිපතිගේ සාධක ඔහු නොදුටුවේ නම් ඔහු ද ඇය සමග නැඹුරු වන්නට තිබුණි. එලෙස (අපි සිදු කළේ) නපුර හා අශික්ෂිත දෑ ඔහුගෙන් අපි වෙනතකට යොමු කරනු පිණිසය. නියත වශයෙන්ම ඔහු අපගේ අවංක ගැත්තන් අතුරින් විය.
Verse 25
දෙදෙනාම තරඟ වැඳ දොරටු ව වෙත ගියහ. ඇය ඔහුගේ කමිසය පිටුපසින් ඇද ඉරා දැමුවාය. දෙදෙනාම දොර අසල දී ඇයගේ ස්වාමියා හමු වූහ. ‘ඔබේ පවුලට නපුරක් අපේක්ෂා කළ අය සිරගත කරනු ලැබීම හෝ වේදනීය දඬුවමක් මිස වෙනත් කවර ප්‍රතිවිපාකයක් දැයි ඇය (එවිට ඇයගේ ස්වාමියාගෙන්) විමසුවාය.
Verse 26
මා පොලඹවාලීමට තැත් කළේ ඇයයි යැයි ඔහු (යූසුෆ්) පැවසුවේය. (එවිට) ඔහුගේ කමිසය ඉදිරියෙන් ඇද ඉරනු ලැබ තිබුණේ නම් ඇය සත්‍යය පවසා ඇත. තවද ඔහු මුසාවාදීන් අතුරිනි යැයි ඇයගේ පවුලෙන් වූ සාක්ෂිකරුවකු සාක්ෂි දැරුවේය.
Verse 27
ඔහුගේ කමිසය පසුපසින් ඉරනු ලැබ තිබුණේ නම් එවිට ඇය බොරු පවසා ඇත. ඔහු සත්‍යවාදීන් අතුරිනි (යැයි තවදුරටත් පැවසුවේය)
Verse 28
ඔහුගේ කමිසය පසුපසින් ඉරනු ලැබී තිබෙනු ඔහු දුටු කල්හි නියත වශයෙන්ම එය නුඹලාගේ උපායකි. නියත වශයෙන්ම නුඹලාගේ උපාය අතිමහත්ය යැයි ඔහු පැවසුවේය.
Verse 29
යූසුෆ්, එය නොසලකා හරිනු. තවද (අහෝ ස්ත්‍රිය,) ඔබ ඔබේ පාපයට සමාව අයැදිනු. නියත වශයෙන්ම ඔබ වැරදිකරුවන් අතුරින් විය.
Verse 30
අසීස්ගේ බිරිය ඇයගේ (වහල්) තරුණයා සමග (කාමයේ වරදවා හැසිරීමට) තැත් කොට ඇත. ආලයෙන් ඇය ව වෙළා ඇත. සැබැවින්ම අපි ඇය පැහැදිලි මුළාවෙහි සිටිනු දකින්නෙමු යැයි නගරයේ කාන්තාවෝ පවසා සිටියහ.
Verse 31
ඔවුන්ගේ රහස් කතාවට ඇය සවන් දුන් කල්හි ඔවුන් වෙත පණිවිඩයක් යවා ඔවුනට හාන්සි (ව සිට බුක්ති විඳින) සංග්‍රහයක් සූදානම් කළාය. ඔවුන් අතුරින් සෑම කෙනෙකුටම පිහියක් බැගින් දුන්නාය. පසු ව ඔබ ඔවුන් ඉදිරියට පිට ව යනු යැයි (යූසුෆ්ට) ඇය පැවසුවාය. ඔවුහු ඔහු ව දුටු කල්හි ඔහු ගැන මහත් පුදුමයට පත් වූහ. ඔවුන්ගේ අත් (ඔවුන් නොදැනුවත්වම) කපා ගත්හ. අල්ලාහ් අප ව ආරක්ෂා කරත්වා මොහු මිනිසෙකු නොවේ. මොහු ගෞරවනීය මලක්වරයකු මිස නැතැයි ඔවුහු පවසා සිටියහ.
Verse 32
නුඹලා කවර කරුණක් සම්බන්ධයෙන් මට දොස් නැගුවෙහුද එයයි මෙය. මම ඔහු සමග (කාමයේ වරදවා හැසිරෙන්නට) තැත් කළෙමි. නමුත් ඔහු සුරක්ෂිත විය. මා ඔහුට අණ කරන දෑ ඔහු ඉටු නොකළේ නම් ඔහු සිරගත කරනු ලබනු ඇත. තවද ඔහු පහත් අය අතුරින් වනු ඇත යැයි ඇය පැවසුවාය.
Verse 33
මාගේ පරමාධිපතියාණනි, ඔවුන් කවර දෙයක් වෙත මා කැඳවන්නේ ද ඊට වඩා සිරගත වීම මට ප්‍රිය මනාපය. ඔවුන්ගේ උපායෙන් නුඹ මා වෙනතකට නොහරවන්නේ නම් ඔවුන් වෙත මම හසුවන්නෙමි. තවද මම අඥානයින් අතුරින් වෙමි යැයි ඔහු පැවසුවේය.
Verse 34
එවිට ඔහුගේ පරමාධිපති ඔහුට (ඔහුගේ ප්‍රාර්ථනාවට) පිළිතුරු දුන්නේය. ඔවුන්ගේ උපාය ඔහු ඔහුගෙන් වෙනතකට හැරෙව්වේය. නියත වශයෙන්ම ඔහුමය සර්ව ශ්‍රාවක සර්ව ඥානී වන්නේ.
Verse 35
අනතුරු ව ඔවුන් (ඔහුගේ අවංකභාවයට) සාධක දුටු පසු ව මද කලකට ඔහු ව සිරභාරයට ගනු ලැබීම යහපත් යැයි ඔවුනට හෙළි විය.
Verse 36
තවද ඔහු සමග සිරගෙයට තරුණයින් දෙදෙනෙකු ද ඇතුළු වූහ. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු සැබැවින්ම මම මත්පැන් පෙරනු බව මම මා ගැන සිහිනයක් දුටුවෙමි යැයි පැවසුවේය. තවද අනෙකා සැබැවින්ම මම ද මාගේ හිසට ඉහළින් මා රොටියක් උසුලමින් සිටියෙමි. පක්ෂියකු ඉන් අනුභව කරනු මම මා ගැන සිහිනයක් දුටුවෙමි යැයි පැවසුවේය. එහි යථාර්ථය ඔබ අපට දන්වා සිටිනු. සැබැවින්ම අපි ඔබ ව දැහැමියන් අතුරින් දකිමු (යැයි තවදුරටත් පවසා සිටියහ.)
Verse 37
නුඹලා දෙදෙනාට පෝෂණය වශයෙන් දෙනු ලබන ආහාර නුඹලා වෙත නොපැමිණි නමුත් නුඹලා දෙදෙනාට එය පැමිණීමට පෙර එහි යථාර්ථය නුඹලා දෙදෙනාට දන්වමි යැයි ඔහු පැවසුවේය. එය මාගේ පරමාධිපති මට ඉගැන්වූ දැයිනි. අල්ලාහ් ව විශ්වාස නොකරන ජනයාගේ පිළිවෙත මම අත හැරියෙමි. තවද ඔවුහු පරමාන්ත දිනය පිළිබඳ ප්‍රතික්ෂේප කරන්නෝ වෙති.
Verse 38
තවද මාගේ මුතුන්මිත්තන් වූ ඉබ්‍රාහීම, ඉස්හාක් හා යඃකූබ්ගේ පිළිවෙත මම අනුගමනය කරමි. කිසිවකින් අල්ලාහ්ට අප ආදේශ කිරීම අපට සුදුසු නොවීය. එය අප වෙත හා ජනයා වෙත වූ අල්ලාහ්ගේ භාග්‍යය අතුරිනි. නමුත් ජනයාගෙන් බහුතරයක් කෘතවේදී නොවෙති.
Verse 39
ආහෝ මාගේ මිතුරු සිරකරුවන් දෙදෙන, උතුම් වනුයේ (වෙන් වෙන් ව සිටින) විවිධ දෙවිවරුන් ද එසේ නැතහොත් බලපරාක්‍රමයාණන් වූ එකම දෙවිඳුන් අල්ලාහ් ද?
Verse 40
ඔහුගෙන් තොර ව නුඹලා ගැතිකම් කරන දෑ නුඹලා හා නුඹලාගේ මුතුන් මිත්තන් විසින් ඒවාට නම් තැබූ නාමයන් මිස නොමැත. අල්ලාහ් ඒ පිළිබඳ ව කිසිදු බලයක් පහළ කළේ නැත. තීන්දු කිරීම අල්ලාහ්ට මිස නැත. නුඹලා ඔහුට පමණක් මිස (වෙනත් කිසිවකුට) ගැතිකම් නොකළ යුතු බවට ඔහු අණ කළේය. එයයි ඍජු දහම වනුයේ. නමුත් ජනයා අතුරින් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති.
Verse 41
අහෝ මාගේ මිතුරු සිරකරුවන් දෙදෙන, නුඹලා දෙදෙනාගෙන් එක් අයකු වූ කලී ඔහු තම ස්වාමියාට මත්පැන් සපයනු ඇත. අනෙක් අය වූ කලී කුරුසයේ තබා බැද දමනු ලැබේ. එවිට ඔහුගේ හිස මත සිට පක්ෂියා අනුභව කරයි. කවර දෙයක් සම්බන්ධයෙන් නුඹලා දෙදෙනා විමසා සිටියේ ද එම කරුණ තීන්දු කරනු ලැබීය.
Verse 42
ඔවුන් දෙදෙනාගෙන් සැබැවින්ම මොහු නිදහස් වනු ඇතැයි සිතූ පුද්ගලයා අමතා, නුඹේ ස්වාමියා අබියස මා ගැන මතක් කරන්න යැයි ඔහු (යූසුෆ්) පැවසුවේය. නමුත් තම ස්වාමියා වෙත මෙනෙහි කිරීමට ෂෙයිතාන් ඔහුට අමතක කර දැමීය. එහෙයින් ඔහු (තවත්) වසර කිහිපයක් සිරගෙහි රැඳුණේය.
Verse 43
තවද ‘සැබැවින්ම පුෂ්ටිමත් ගවයන් හත් දෙනෙකුව වැහිරී ගිය (ගවයන්) හත් දෙනෙකු කා දැමීම ද සාරවත් (ධාන්‍ය) කරල් හතක් හා අනෙක් ඒවා වියළි ලෙස තිබීම ද මම දකිමි. අහෝ ප්‍රධානියිනි, නුඹලා සිහින වලට පලාපල කියමින් සිටියෙහු නම් මාගේ මෙම සිහිනය පිළිබඳ ව මා හට විස්තර කරනුයි රජු පැවසුවේය.
Verse 44
මෙය ව්‍යාකූල සිහිනයකි. තවද අපි සිහින වල අර්ථ පිළිබඳ දැනුමැත්තන් නොවන්නෙමු යැයි ඔවුහු පැවසූහ.
Verse 45
ඔවුන් දෙදෙනාගෙන් නිදහස් වූ අය ටික කලකට පසු ව (යූසුෆ් පිළිබඳ ව) මතක් වී එහි අර්ථය පිළිබඳ ව මම නුඹලාට දැනුම් දෙමි. එහෙයින් නුඹලා මා (යූසුෆ් වෙත) යවනු යැයි කීය.
Verse 46
අහෝ සත්‍යවාදී යූසුෆ්, පුෂ්ටිමත් ගවයන් හත් දෙනෙකු ව වැහිරී ගිය (ගවයන්) හත් දෙනෙකු කා දැමීම හා සාරවත් (ධාන්‍ය) කරල් හතක් හා අනෙක් ඒවා වියළි ව තිබීම ගැන මට විස්තර කරන්න. මම ජනයා වෙත හැරී ගොස් (දන්වමි) ඔවුන් එය දැන ගත හැකි වනු පිණිස.
Verse 47
අවුරුදු හතක් දිගටම නුඹලා වගා කරනු ඇත. නුඹලා අස්වනු වශයෙන් නෙළාගන්නා දෑ නුඹලා අනුභව කරන ස්වල්ප ප්‍රමාණය හැර (අනෙක් ඒවා) එහි කරල් තුළම තිබෙන්නට හරිනු.
Verse 48
ඉන් පසු ව දරුණු (සාගතයෙන් සපිරි වූ වසර) හතක් පැමිණෙයි. නුඹලා ඒ සඳහා (ධාන්‍ය අතුරින්) පෙර සූදානම් කළ දෑ අනුභව කරනු ඇත. නමුත් නුඹලා ගබඩා කරන දැයින් ස්වල්පයක් මිස.
Verse 49
ඉන් පසු ව වසරක් පැමිණෙයි. ජනයා එහි වර්ෂාවෙන් ආශිර්වාද කරනු ලබනු අතර තවද ඔවුහු එහි (පලතුරු) යුෂ පෙරති.
Verse 50
‘ඔහු මා වෙත ගෙන එනු’ යැයි රජු පැවසුවේය. නමුත් දූතයා ඔහු(යූසුෆ්) වෙත පැමිණි කල්හි ‘ඔබ ඔබේ ස්වාමියා වෙත හැරී ගොස් තම අත් කපා ගත් කාන්තාවන්ගේ තත්ත්වය කුමක් දැයි ඔහුගෙන් විමසනු. නියත වශයෙන්ම මාගේ පරමාධිපති ඔවුන්ගේ උපාය පිළිබඳ සර්ව ඥානීය’ යැයි පැවසුවේය.
Verse 51
‘නුඹලා යූසුෆ් පොලඹවා ගන්නට තැත් කළ අවස්ථාවේ නුඹලාට කුමක් වී දැ’යි (රජු) විමසුවේය. ‘අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමු. ඔහු ගැන කිසිදු අයහපතක් අපි නොදනිමු’ යැයි ඔවුහු පැවසුවෝය. ‘දැන් සත්‍යය පැහැදිලි විය. ඔහු ව (කාමයේ වරදවා හැසිරෙන්නට) තැත් කළේ මමයි. තවද නියත වශයෙන්ම ඔහු සත්‍යවාදීන් අතුරිනි’ යැයි අසීස්ගේ බිරිය පැවසුවාය.
Verse 52
එය(ට හේතුව, ඔහු) නොමැති තැන මම ඔහු(අසීස්)ට ද්‍රෝහිකම් නොකළ බවටත් සැබැවින්ම අල්ලාහ් ද්‍රෝහිකම් කරන්නන්ගේ කුමන්ත්‍රණ වලට මග නොපෙන්වන බවත් ඔහු දැන ගනු පිණිසය.
Verse 53
මා ගැන මම නිර්දෝෂි යැයි නොපවසමි. ආත්මය පවට දැඩි ලෙස පොලඹවන්නකි. නමුත් මාගේ පරමාධිපති ආශිර්වාද කළ දෑ(ආත්මය) හැර. නියත වශයෙන්ම මාගේ පරමාධිපති අති ක්ෂමාශීලීය. මහා කරුණා ගුණයෙන් යුක්තය (යැයි අසීස්ගේ බිරිඳ පැවසුවාය.)
Verse 54
මාගේ විශේෂ කෙනෙකු ලෙස මා ඔහු ව පත් කර ගැනීමට මා වෙතට ඔහු ව ගෙන එනු යැයි රජු පැවසුවේය. (ඔහු පැමිණි විට) නියත වශයෙන්ම ඔබ අද දින අප අතර විශ්වාසනීයත්වයක් ඇති කෙනෙකි යැයි (රජු) පැවසුවේය.
Verse 55
මිහිතලයේ සම්පත් සඳහා ඔබ මා පත් කරනු. නියත වශයෙන්ම මම මනා දැනුමැති ආරක්ෂකයෙකි යැයි (යූසුෆ්) කීය.
Verse 56
එලෙස අපි යූසුෆ්ට එම දේශයේ ඔහු කැමති පරිදි එහි පදිංචි වන්නට ඉඩ සලසා දුනිමු. තවද අපි අභිමත කරන අයට අපගේ කරුණාව තුළින් පිරිනමන්නෙමු. දැහැමියන්ගේ ප්‍රතිඵල අපි නිෂ්ඵල නොකරන්නෙමු.
Verse 57
(සත්‍යය) විශ්වාස කළවුනට මතු ලොව ප්‍රතිඵල උතුම්ය. තවද ඔවුහු බිය හැඟීමෙන් කටයුතු කරන්නන් වූහ.
Verse 58
තවද යූසුෆ්ගේ සහෝදරයෝ පැමිණ ඔහු වෙත ඇතුළු වූහ. එවිට ඔවුන් ඔහු ව නාඳුනන්නන් ලෙසින් සිටිය ද ඔහු ඔවුන් ව හඳුනා ගත්තේය.
Verse 59
ඔවුනට සූදානම් කර දිය යුතු දෑ ඔවුනට ඔහු සූදානම් කර දුන් කල්හි නුඹලාගේ පියාගෙන් වූ නුඹලාගේ සහෝදරයා මා වෙත ගෙන එනු. නියත වශයෙන්ම මම කිරුම පූර්ණ ව දෙන බවත් සත්කාරයින් අතුරින් මම ශ්‍රේෂ්ඨයෙකු වන බවත් නුඹලා දුටුවා නොවේ දැයි පවසා සිටීය.
Verse 60
එහෙයින් නුඹලා මා වෙත ඔහු නොගෙනාවෙහු නම් මා වෙතින් නුඹලාට කිසිදු කිරුමක් නොමැත. තවද නුඹලා මා වෙත සමීප නොවනු.
Verse 61
ﯣﯤﯥﯦﯧﯨ
ﯩ
ඔහු(ව කැටුවා ගෙන ඒම) ගැන අපගේ පියාණන්ට අපි සැල කරන්නෙමු. තවද නියත වශයෙන්ම අප එය සිදු කරන්නෝමය යැයි ඔවුහු පැවසූහ.
Verse 62
ඔවුන්ගේ භාණ්ඩ ඔවුන්ගේ ගමන් මලු වලම තබනු. ඔවුන් ඔවුන්ගේ පවුල වෙත හැරී ගිය විට ඔවුන් එය දැන, නැවත හැරී ආ හැකි වනු පිණිස යැයි ඔහු ඔහුගේ සේවකයින්ට කීය.
Verse 63
ඔවුන් ඔවුන්ගේ පියාණන් වෙත නැවත ගිය කල්හි අපගේ පියාණනි, (මින් ඉදිරියට) කිරා දීම අප වෙත වළක්වන ලදී. එබැවින් අප සමග අපගේ සහෝදරයා එවනු. අපි (ධාන්‍ය) කිරා ගන්නෙමු. තවද නියත වශයෙන්ම අපි ඔහු ව ආරක්ෂා කරන්නන් වෙමු යැයි ඔවුහු පැවසූහ.
Verse 64
මීට පෙර නුඹලාගේ සහෝදරයා (යූසුෆ්) විෂයයෙහි නුඹලා ව මම විශ්වාස කළාක් මෙන් මිස මොහු කෙරෙහි ද නුඹලා ව මම විශ්වාස කළ යුතු ද? එහෙයින් ආරක්ෂකයා වශයෙන් අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය. තවද ඔහු කරුණාවන්තයින්ගෙන් මහා කරුණාවන්තයා ය.
Verse 65
ඔවුන්ගේ මලු ඔවුහු විවෘත කළ කල්හි ඔවුන් වෙත ආපසු දෙන ලද ඔවුන්ගේ භාණ්ඩ ඔවුහු දුටුවෝය. අපගේ පියාණනි, මෙය අපි නොපැතුවෙමු, අපගේ මෙම භාණ්ඩ අපට නැවත දෙන ලදී. තවද අපි අපගේ පවුලට ආහාර සපයන්නෙමු. තවද අපගේ සහෝදරයාව රැක බලා ගන්නෙමු. ඔටු (මත පටවන) බරට අපි අධික ව ලබා ගන්නෙමු. එය පහසු කිරුම් බරකි යැයි පැවසුවෝය
Verse 66
මොහු ව මා වෙත (නැවත) ගෙන එන බවට අල්ලාහ් වෙතින් නුඹලා මට ප්‍රතිඥාවක් දෙන තෙක් මම ඔහු ව නුඹලා සමග කිසිවිටෙක නොයවමි. නමුත් නුඹලාට (යම් නපුරක්) වට කර ගනු ලැබුවොත් මිස යැයි ඔහු පැවසීය. එහෙයින් ඔවුන්ගේ ප්‍රතිඥාව ඔවුහු ඔහුට දුන් කල්හි අප පවසන දෑ කෙරෙහි අල්ලාහ් භාරකරු යැයි ඔහු කීවේය.
Verse 67
මාගේ දරුවනි, නුඹලා එකම දොරටුවකින් ඇතුළු නොවනු. විවිධ දොරටු වලින් ඇතුළු වනු. අල්ලාහ්ගෙන් වූ කිසිවකින් නුඹලා සඳහා කිසිදු ඵලක් මා විසින් ලබා දිය නොහැක. තීන්දුව අල්ලාහ් සතු ව මිස නැත. ඔහු වෙත මම භාර කළෙමි. තවද භාර කරන්නන් ද ඔහු වෙතම භාර කළ යුතුය.
Verse 68
තවද ඔවුන්ගේ පියා ඔවුනට අණ කළ පරිදි ඔවුන් ඇතුළු වූ කල්හි යඃකූබ්ගේ මනස තුළ තිබූ අභිලාෂය ඉටු වීම මිස වෙනත් කිසිවක් අල්ලාහ්ගෙන් ඔවුනට ප්‍රයෝජනය ගෙන දෙන්නක් නොවීය. නියත වශයෙන්ම අපි ඔහුට ඉගැන් වූ දෑ පිළිබඳ ව ඔහු දැනුමැත්තෙකි. එනමුත් ජනයා අතුරින් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති.
Verse 69
ඔවුහු යූසුෆ් වෙත ඇතුළු වූ කල්හි ඔහු තම සහෝදරයා ව ළං කර ගෙන නියත වශයෙන්ම මම ඔබේ සහෝදරයා වෙමි. එබැවින් ඔවුන් සිදු කරමින් සිටින දෑ පිළිබඳව නුඹ දුක් නොවනු යැයි පැවසුවේය.
Verse 70
ඔවුනට සූදානම් කර දිය යුතු දෑ ඔවුනට සූදානම් කර දුන් කල්හි තම සහෝදරයාගේ ගමන් මලු ව තුළ ජල බඳුන තබන්නට ඔහු සැලැස්සුවේය. පසු ව අහෝ තවලම් කරුවනි, නියත වශයෙන්ම නුඹලා සොරුන් යැයි නිවේදකයකු දන්වා සිටියේය.
Verse 71
ﭡﭢﭣﭤﭥ
ﭦ
ඔවුහු ඔවුන් වෙත හැරී නුඹලා නැති කර ගත්තේ කුමක් දැයි විමසුවෝය.
Verse 72
රජුගේ රන් කුසලානය (බඳුන) අපි අහිමි කර ගත්තෙමු. තවද එය ගෙන එන්නාට ඔටුවෙකු බරට (ධාන්‍ය) ඇත. තවද ඒ ගැන මම සහතික වෙමි යැයි ඔවුහු පැවසුවෝය.
Verse 73
අල්ලාහ් මත දිවුරා පවසමු. මහපොළොවේ කලහකම් කිරීමට අපි නොපැමිණි බවත් අපි සොරුන් නොවන බවත් සැබැවින්ම නුඹලා දන්නෙහු යැයි ඔවුහු පැවසුවෝය.
Verse 74
ﮁﮂﮃﮄﮅﮆ
ﮇ
එසේ නම් නුඹලා බොරුකාරයින් වී නම් නුඹලාගේ ප්‍රතිවිපාකය කුමක් විය යුතු දැයි ඔවුහු විමසුවෝය.
Verse 75
එහි ප්‍රතිවිපාකය එනම් කවරෙකුගේ ගමන් මල්ලෙහි සොයා ගනු ලබන්නේ ද එවිට ඔහුමය එහි ප්‍රතිවිපාකය විඳිය යුත්තේ. අපි අපරාධකරුවන්ට ප්‍රතිවිපාක ලබා දෙනුයේ එලෙසය යැයි ඔවුහු පැවසූහ.
Verse 76
තම සහෝදරයාගේ පොදියට පෙර ඔවුන්ගේ පොදි වලින් (සොයන්නට) පටන් ගත්තේය. පසු ව තම සහෝදරයාගේ පොදියෙන් එය එළියට ගත්තේය. එලෙසය අපි යූසුෆ්ට (සියල්ල) සැලසුම් කළේ. අල්ලාහ්ගේ කැමැත්තෙන් තොර ව, රජුගේ නීතිය තුළ ඔහුගේ සහෝදරයා ගැනීමට සුදුසු නොවීය. අපි අභිමත කරන අයට තරාතිරම් උසස් කරන්නෙමු. තවද දැනුමැති සියල්ලන්ට වඩා ඉහළින් මනා දැනුමැත්තකු ඇත.
Verse 77
ඔහු සොරකම් කර ඇත්නම් (පුදුමයක් නොවේ.) මීට පෙර ඔහුගේම සහෝදරයා සොරකම් කර ඇත යැයි ඔවුහු පැවසුවෝය. නමුත් යූසුෆ් එය ඔවුනට හෙළි නොකර ඔහුගේ මනස තුළ එය සඟවා ගත්තේය. නුඹලා ස්ථානයෙන් නපුරුම අය වෙති. තවද නුඹලා වර්ණනා කරමින් පවසන දෑ පිළිබඳ ව අල්ලාහ් මැනවින් දන්නාය යැයි ඔහු පැවසීය.
Verse 78
අහෝ උතුමාණනි, මොහුට ඉතා වයස් ගත පියෙකු සිටියි. එබැවින් ඔහුගේ තැනට අප අතුරින් කෙනෙකු ගනු. නියත වශයෙන්ම අපි ඔබ ව දැහැමියන් අතුරින් කෙනෙකු ලෙස දකින්නෙමු යැයි ඔවුහු පැවසුවෝය.
Verse 79
අපගේ භාණ්ඩ කවුරුන් වෙතින් අපි සොයා ගත්තෙමු ද ඔහු හැර (වෙනත් කෙනෙකු) අප ගැනීමෙන් අල්ලාහ් ආරක්ෂා කරත්වා එවිට අපි නියත වශයෙන්ම අපරාධකරුවන් වෙමු යැයි ඔහු පැවසුවේය.
Verse 80
ඔහු ගැන ඔවුහු බලාපොරොත්තු සුන් වූ කල්හි රහසින් සාකච්ඡා කිරීමට වෙන් ව ගියෝය. නියත වශයෙන්ම නුඹලාගේ පියා අල්ලාහ්ගෙන් වූ ප්‍රතිඥාවක් නුඹලා වෙතින් ගත් සැටිත් මීට පෙර යූසුෆ් විෂයෙහි (එවන් ප්‍රතිඥාවක්) නුඹලා කඩ කළ සැටිත් නුඹලා නොදන්නෙහුද? එහෙයින් මාගේ පියා මා හට අවසර දෙන තෙක් හෝ අල්ලාහ් මට තීන්දු දෙන තෙක් හෝ මම මෙම භූමියෙන් ඉවත නොයමි. තවද ඔහු තීන්දු දෙන්නන්ගෙන් අති ශ්‍රේෂ්ඨය යැයි ඔවුන් අතුරින් වැඩිමලා පැවසුවේය.
Verse 81
නුඹලා නුඹලාගේ පියා වෙත ගොස් අපගේ පියාණනි, නියත වශයෙන්ම ඔබේ පුතා සොරකම් කළේය. අප දන්නා දෑ පිළිබඳ ව මිස (වෙනෙකක් පිළිබඳ) අපි සාක්ෂි නොදරන්නෙමු. තවද අපි (අපට නොපෙනෙන) ගුප්ත දෑ ආරක්ෂා කරන්නන් ලෙස නොසිටියෙමු යැයි නුඹලා පවසනු.
Verse 82
අපි එහි සිටි ගම්මානයෙන් හා එහි අපි මුණගැසුණු නඩයෙන් නුඹ විමසා බලනු. තවද නියත වශයෙන්ම අපි සත්‍යවාදීහුමය.
Verse 83
නමුත් (මීට පෙර) නුඹලාගේ ආත්මාවන් නුඹලාට කරුණක් අලංකාරවත් කළේය. එහෙයින් අලංකාර ඉවසීමකි (වඩාත් ශ්‍රේෂ්ඨ වනුයේ.) ඔවුන් සියල්ල මා වෙත ගෙන ඒමට අල්ලාහ්ට හැකිය. නියත වශයෙන්ම ඔහු සර්ව ඥානී සියුම් ඥානය ඇත්තාය යැයි ඔහු(පියා) පැවසීය.
Verse 84
තවද ඔහු ඔවුන්ගෙන් හැරී අහෝ යූසුෆ් කෙරෙහි තිබූ මාගේ ශෝකයේ තරම යැයි පැවසීය. තවද දුකෙන් ඔහුගේ දෑස් සුදුමැලි විය. ඔහු (දුක) යටපත් කර ගත්තේය.
Verse 85
අල්ලාහ් මත දිවුරා පවසන්නෙමු. ඔබ රෝගාතුර වන තෙක් හෝ විනාශ වී යන්නන් අතුරින් වන තෙක් හෝ ඔබ යූසුෆ්ගේ මතකයෙන් ඉවත් නොවන්නේ මය යැයි ඔවුහු පැවසුවෝය.
Verse 86
මාගේ ශෝකය හා මාගේ දුක පිළිබඳ මම පැමිණිලි කරනුයේ අල්ලාහ් වෙතමය. තවද නුඹලා නොදන්නා දෑ මම අල්ලාහ්ගෙන් දැන ගනිමි යැයි ඔහු පැවසුවේය.
Verse 87
අහෝ මාගේ දරුවනි, නුඹලා ගොස් යූසුෆ් හා ඔහුගේ සහෝදරයා පිළිබඳ සොයා බලනු. අල්ලාහ්ගේ දයාව පිළිබඳ ව නුඹලා බලාපොරොත්තු සුන් කර නොගනු. නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කරන ජනයා මිස වෙනත් කිසිවකු අල්ලාහ්ගේ දයාව පිළිබඳ බලාපොරොත්තු සුන් කර නොගනිති.
Verse 88
ඔහු වෙත ඔවුන් ඇතුළු වූ කල්හි අහෝ උතුමාණනි, අප හා අපගේ පවුලට පීඩාව වැලඳී ඇත. අපි අල්ප වටිනාකමින් යුත් භාණ්ඩ සමග පැමිණ ඇත්තෙමු. එබැවින් කිරුම් බර අපට පූර්ණ ව ලබා දී තවද අප වෙත (තවත් කිහිපයක්) දන් දෙනු. නියත වශයෙන්ම අල්ලාහ් දන් දෙන්නන්හට කුසල් පිරිනමනු ඇත යැයි ඔවුහු පැවසුවෝය.
Verse 89
නුඹලා අඥානයින් ලෙස සිටි අවස්ථාවේ යූසුෆ් හා ඔහුගේ සහෝදරයාට නුඹලා කළ දෑ නුඹලා දන්නෙහු දැයි ඔහු විමසුවේය
Verse 90
සැබැවින්ම ඔබ ද යූසුෆ් ? යැයි ඔවුහු විමසුවෝය. මම යූසුෆ්, මේ මාගේ සහෝදරයාය. අල්ලාහ් අප වෙත ආශිර්වාද කළේය. නියත වශයෙන්ම කරුණ නම් කවරෙකු අල්ලාහ්ට බිය බැතිමත් වී ඉවසීමෙන් කටයුතු කරන්නේ ද නියත වශයෙන්ම අල්ලාහ් දැහැමියන්ගේ කුලිය නිෂ්ඵල නොකරනු ඇතැයි ඔහු පැවසුවේය.
Verse 91
අල්ලාහ් මත දිවුරමු. අල්ලාහ් අපට වඩා ඔබ ව උසස් කළේය. තවද නියත වශයෙන්ම අපි වැරදි කරන්නන් වීමු යැයි ඔවුහු පැවසුවෝය.
Verse 92
අද දින නුඹලා කෙරෙහි කිසිදු දොසක් නැත. අල්ලාහ් නුඹලාට සමාව දෙනු ඇත. තවද ඔහු කරුණාවන්තයින්ගෙන් මහා කරුණාවන්තය යැයි ඔහු පැවසුවේය.
Verse 93
නුඹලා මේ මාගේ කමිසය ගෙන ගොස් මාගේ පියාගේ මුහුණ මත දමනු. ඔහුට බැල්ම එනු ඇත. තවද නුඹලාගේ පවුලේ සියලු අය මා වෙත ගෙන එනු.
Verse 94
නඩය (මිසරයෙන්) පිටත් ව ගිය කල්හි නියත වශයෙන්ම යූසුෆ්ගේ සුවඳ මට දැනෙයි. නුඹලා මට දොස් නැගිය යුතු නොවේ දැයි ඔවුන්ගේ පියා විමසුවේය.
Verse 95
ﯸﯹﯺﯻﯼﯽ
ﯾ
අල්ලාහ් මත දිවුරමින් නියත වශයෙන්ම ඔබ (තවමත්) ඔබේ පැරණි මුළාවෙහිම පසුවන්නෙහි යැයි ඔවුහු පැවසුවෝය.
Verse 96
පසු ව ශුභාරංචි දන්වන්නා පැමිණි කල්හි ඔහු ඔහුගේ මුහුණට එය දැමුවේය. එවිට ඔහු බැල්මැත්තෙකු ලෙස නැවත පත් විය. නුඹලා නොදන්නා දෑ මම අල්ලාහ්ගෙන් දැන ගනිමි යැයි නුඹලාට මම නොකීවෙම්දැයි ඔහු විමසුවේය.
Verse 97
අපගේ පියාණනි, අපගේ පාපයන් වලට ඔබ අප වෙනුවෙන් සමාව අයැද සිටිනු මැනව නියත වශයෙන්ම අපි වැරදි කරන්නන් වූයෙමු යැයි ඔවුහු පැවසුවෝය.
Verse 98
මම මාගේ පරමාධිපතිගෙන් නුඹලා වෙනුවෙන් මතු සමාව අයැදිමි. නියත වශයෙන් ම ඔහු අතික්ෂමාශීලී මහා කරුණාවන්තය.
Verse 99
ඔවුන් යූසුෆ් වෙත පිවිසුනු කල්හි තමන් වෙත තම දෙමාපියන් ඔහු ළං කර ගත්තේය. තවද අල්ලාහ් අභිමත කළේ නම් සුරක්ෂිතයින් ලෙසින් නුඹලා මිසරයට ඇතුළු වනු යැයි ඔහු පැවසුවේය.
තවද ඔහු ඔහුගේ දෙමාපියන් රාජාසානය මත ඔසවා තැබුවේය. තවද ඔවුහු ඔහුට සුජූද් කරමින් හිස නැමූහ. තවද මාගේ පියාණනි, මීට පෙර (මා දුටු) මාගේ සිහිනයේ යථාර්ථය මෙයයි. මාගේ පරමාධිපති එය සැබෑ ලෙසින්ම ඇති කළේය. සිරගෙයින් මා බැහැර කරන විට ද මා අතර හා මාගේ සහෝදරයින් අතර ෂෙයිතාන් කලහකම් ඇති කිරීමෙන් පසු පිටිසර ගම්මානයෙන් නුඹලා ව ගෙන ආ විටද ඔහු මා සමග යහපත් අයුරින් කටයුතු කළේය. නියත වශයෙන්ම මාගේ පරමාධිපති ඔහු අභිමත කරන දෑට මෛත්‍රීය. නියත වශයෙන්ම සර්වඥානී සියුම් ඥානය ඇත්තා ඔහුමය.
Verse 101
මාගේ පරමාධිපතියාණනි, ඔබ මට රාජ්‍යය පිරිනැමුවෙහිය. තවද සිදුවීම් වල යථාර්ථය ඉගැන්වූවෙහිය. අහස් හා පොළොවේ නිර්මාපකයාණනි, මෙලොව හා මතු ලොවෙහි මාගේ භාරකරු ඔබය. මා (ඔබට) අවනත වන්නෙකු ලෙසින් මරණයට පත් කරනු මැනව තවද දැහැමියන් සමග මා සේන්දු කරනු මැනව
Verse 102
(නබිවරය,) මෙය ගුප්ත පුවත් අතුරිනි. එය අපි නුඹ වෙත දන්වමු. ඔවුහු කුමන්ත්‍රණය කරමින් ඔවුන්ගේ විෂයය සඳහා එක් රැස් වූ අවස්ථාවේ නුඹ ඔවුන් අබියස නොවීය.
Verse 103
ﰇﰈﰉﰊﰋﰌ
ﰍ
තවද නුඹ (ඔවුන්ගේ විශ්වාසය ගැන කෙතරම්) අපේක්ෂා කළ ද ජනයා අතුරින් බහුතරයක් දෙනා දේව විශ්වාසවන්තයින් නොවේ.
Verse 104
මේ සඳහා නුඹ කිසිදු කුලියක් ඔවුන්ගෙන් නොපතන්නෙහිය. මෙය ලෝවැසියන්ට මෙනෙහි කිරීමක් මිස නැත.
Verse 105
අහස්හි හා මහපොළොවේ කෙතරම් නම් සාධක වී ද? නමුත් ඔවුහු ඒ ගැන පිටුපාමීන් ඒ හරහා ගමන් කරති.
Verse 106
ඔවුන් ආදේශ කරන්නන් ලෙසින් සිටියා මිස ඔවුන්ගෙන් බහුතරයක් දෙනා අල්ලාහ් ව විශ්වාස නොකරති.
Verse 107
අල්ලාහ්ගේ දඬුවමින් වෙළාගන්නා වූ ව්‍යසනයක් ඔවුන් වෙත පැමිණීම ගැන හෝ ඔවුහු නොහඟමින් සිටිය දී එසැණින් අවසන් හෝරාව පැමිණීම ගැන හෝ ඔවුන් අභයදායී ව සිටින්නෝ ද?
Verse 108
මෙය මාගේ මාර්ගයයි. අල්ලාහ් වෙත මම ඇරයුම් කරමි. මා හා මා අනුගමනය කළවුන් පැහැදිලි සාධක මත සිටිමු. තවද අල්ලාහ් සුපිවිතුරුය. මම ආදේශ කරන්නන් අතුරින් කෙනෙකු නොවෙමි යැයි නුඹ පවසනු.
Verse 109
ගම්වාසීන් අතුරින් තමන් වෙත අපි දේව පණිවිඩ දන්වා සිටි පුරුෂයින් ලෙස මිස නුඹට පෙර අපි (රසූල්වරුන්) නොඑව්වෙමු. ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැයි ඔවුහු මහපොළොවෙහි සැරිසරා අධීක්ෂණය කර නොබලන්නෝද? බිය හැඟීමෙන් යුතු ව කටයුතු කළවුන්ට අවසන් නිවහන උතුම්ය. නුඹලා වටහා නොගන්නෙහු ද?
Verse 110
රසූල්වරුන් බලාපොරොත්තු සුන් වූ විට නියත වශයෙන්ම තමන් බොරු කරනු ලැබූ බව සිතූහ. (එවිට) අපගේ උපකාරය ඔවුන් වෙත පැමිණියේය. අප අභිමත කරන අය ව මුදවා ගනු ලැබීය. අපගේ දඬුවම වැරදිකාර ජනයාගෙන් වළක්වනු නොලැබේ.
Verse 111
සැබැවින්ම ඔවුන්ගේ කතා වස්තු වල බුද්ධිය ඇත්තවුනට පාඩමක් විය. එය ගොතනු ලැබූ කතාවක් නොවීය. එනමුත් ඔවුන් අතර ඇති දෑ තහවුරු කරන්නක් ද සියලු දෑ විස්තර කරන්නක් ද විශ්වාස කරන ජනයාට මග පෙන්වීමක් හා දයාවක් ද විය.
تقدم القراءة