الترجمة السنهالية වෙතින් السنهالية භාෂාවෙන් සූරා سبأ හි පරිවර්තනය
Verse 1
අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ සතු වූ අල්ලාහ්ටමය සියලු ප්‍රශංසා. මතු ලොවෙහි සියලු ප්‍රශංසා ද ඔහු සතුය. තවද ඔහු සියුම් ඥානී වූ අභිඥානවන්තය.
Verse 2
මහපොළොව තුළට පිවිසෙන දෑ ද ඉන් බැහැර වන දෑ ද අහසින් පහළ වන දෑ ද එහි ඉහළට එසවෙන දෑ ද ඔහු දනී. තවද ඔහු අතික්ෂමාශීලී මහාකරුණාන්විතය.
Verse 3
තවද ‘අවසන් හෝරාව අප වෙත නොපැමිණෙනු ඇතැ’යි දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් පැවසූහ. එසේ නොව ගුප්ත දෑ දන්නා වූ මාගේ පරමාධිපති මත දිවුරමින්, නියත වශයෙන්ම එය නුඹලා වෙත පැමිණෙනු ඇත. අහස්හි හෝ වේවා මහපොළොවේ හෝ වේවා අණුවක තරම් ප්‍රමාණයක් හෝ ඊට වඩා කුඩා දෙයක් හෝ විශාල දෙයක් හෝ තිබුණ ද එය පැහැදිලි ලේඛනයේ සඳහන් ව මිස ඔහුගෙන් සැඟවෙන්නේ නැත.
Verse 4
(මෙය) විශ්වාස කොට යහකම් කළවුනට ඔහු ප්‍රතිඵල පිරිනමනු පිණිසය. ඔවුනට සමාව හා ගෞරවනීය පෝෂණ සම්පත් ඇත්තවුන් ඔවුහුමය.
Verse 5
අපගේ වදන් පරාජය කිරීමට වෑයම් කළවුන්, තමන්ට වේදනීය නපුරු දඬුවම ඇත්තෝ ඔවුහුමය.
Verse 6
තවද ඔබේ පරමාධිපතිගෙන් ඔබ වෙත පහළ කරනු ලැබූ දෑ, එයමය සත්‍යය යැයි ද එය ප්‍රශංසාලාභී සර්ව බලධාරියාණන්ගේ මාර්ගය වෙත මග පෙන්වනු ඇතැයි ද ඥානය දෙනු ලැබූවන් දකිනු ඇත.
Verse 7
නුඹලා පූර්ණ ලෙස කීතු කීතු වලට ඉරා දමනු ලැබූ විට, නියත වශයෙන්ම නව මැවීමක් තුළට නුඹලා පත් වීම ගැන නුඹලාට දැනුම් දෙන මිනිසෙකු සම්බන්ධයෙන් නුඹලාට අපි දන්වා සිටින්නදැයි ප්‍රතික්ෂේප කළවුන් පැවසූහ.
Verse 8
ඔහු (මුහම්මද්) අල්ලාහ් වෙත ප්‍රබන්ධයන් ගෙතුවේ ද? එසේ නැතහොත් ඔහු උමතුවෙන් සිටී ද? නැත. මතු ලොව පිළිබඳ ව විශ්වාස නොකරන්නෝ දඬුවමෙහි හා අන්ත මුළාවෙහි පසුවෙති.
Verse 9
අහසෙහි හා මහපොළොවෙහි ඔවුන් අතර ඇති දෑ හා ඔවුනට පසුපසින් ඇති දෑ වෙත ඔවුහු නොබැලුවෝ ද? අපි අභිමත කරන්නේ නම් අපි ඔවුන් පොළොවට කිදා බස්වන්නෙමු. එසේ නැතහොත් අහසින් කැබැල්ලක් ඔවුන් වෙත වැටෙන්නට සලස්වමු. නියත වශයෙන්ම නැඹුරු වන සෑම ගැත්තෙකු සඳහාම එහි සංඥාවක් ඇත.
Verse 10
තවද සැබැවින්ම අපි අපගෙන් වූ භාග්‍යය දාවූද්ට පිරිනැමුවෙමු. අහෝ කඳු! ඔහු සමග නුඹලා ද සුවිශුද්ධ කරනු. තවද (එම නියෝගය) පක්ෂීන්ට ද විය. තවද අපි ඔහුට යකඩ මොළොක් කර දුන්නෙමු.
Verse 11
(ආරක්ෂිත යුද ඇඳුම්) සන්නාහ තනනු. තවද පුරුක් තුළ ප්‍රමාණයට තබනු. තවද නුඹලා යහකම් සිදු කරනු. නියත වශයෙන්ම මම නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව සර්ව නිරීක්ෂක වෙමි.
Verse 12
තවද සුලෙයිමාන්ට සුළඟ ද (අපි වසඟ කර දුනිමු.) එහි උදෑසන හමා යාම මසකි. තවද එහි සවස හමා යාම ද මසකි. තවද අපි ඔහුට තඹ උල්පත ගලන්නට සැලැස්වූයෙමු. තවද ජින්නුන් අතුරින් ඔහුගේ පරමාධිපතිගේ අනුමැතියෙන් ඔහු ඉදිරියේ සේවය කරන්නන් ද විය. ඔවුන් අතුරින් කවරෙකු අපගේ නියෝගයෙන් පෙරළී යන්නේ ද ඇවිළෙන ගින්නේ දඬුවම ඔහුට භුක්ති විඳින්නට සලස්වමු.
Verse 13
උස් ගොඩනැගිලි, ප්‍රතිමා, තටාක වැනි පාත්‍ර, (ආහාර පිසීම සඳහා) කල්දේරම් වැනි දැයින් ඔහු අභිමත කරන දෑ ඔවුහු ඔහුට සිදු කර දෙති. දාවූද්ගේ වැසියනි! ගුණගරුක ලෙසින් කටයුතු කරනු. මාගේ ගැත්තන් අතුරින් ගුණගරුක වනුයේ ස්වල්පයකි.
Verse 14
අපි ඔහු කෙරෙහි මරණය තීන්දු කළ කල්හි ඔහුගේ මරණය පිළිබඳ ව ඔහුගේ සැරයටිය සපාකන භූමියේ සතුන්ට හැර ඔවුන් වෙත දැනුම් දුන්නේ නැත. ඔහු බිම ඇද වැටුණු කල්හි ගුප්ත දෑ පිළිබඳ දැන සිටියේ නම් තමන් නින්දාසහගත දඬුවමෙහි රැඳී සිටින්නට නොතිබුණා යැයි ජින්නුන්ට පැහැදිලි විය.
Verse 15
සබඃ වාසීන්ට ඔවුන්ගේ වාසස්ථාන වල සංඥාවක් විය. දකුණු පසින් හා වම් පසින් උයන් දෙකක් විය. නුඹලාගේ පරමාධිපතිගේ පෝෂණයෙන් නුඹලා අනුභව කරනු. තවද නුඹලා ඔහුට කෘතවේදී වනු. (එය) පිවිතුරු නගරයකි. අතික්ෂමාශීලී හිමියෙකි.
Verse 16
නමුත් ඔවුහු පිටුපෑහ. එහෙයින් අපි ඔවුන් වෙත අරිම් (නම් මිටියාවතේ) ජල ගැල්ම ඔවුන් වෙත එව්වෙමු. තවද ඔවුන්ගේ උයන් දෙක වෙනුවට ඇඹුල් හා තිත්ත එමෙන්ම මසන් ගස් වලින් කිහිපයක් පමණක් සහිත උයන් දෙකක් බවට අපි ඔවුනට පෙරළා දුනිමු.
Verse 17
එය ඔවුන් ප්‍රතික්ෂේප කළ දෑ හේතුවෙන් අප ඔවුනට ප්‍රතිඵල වශයෙන් ලබා දුන්නකි. ගුණමකුවන්ට හැර අපි එම ප්‍රතිවිපාක ලබා දෙන්නෙමුද?
Verse 18
ඔවුන් අතර හා එහි අපි සමෘද්ධිමත් කළ ගම්මානයන් අතර ප්‍රසිද්ධ ජනාවාස ඇති කළෙමු. තවද අපි එහි ගමන නිර්ණය කර දුන්නෙමු. නුඹලා එහි රාත්‍රියන්හි හා දහවල්කාලයන්හි සුරක්ෂිත ව ගමන් කරනු.
Verse 19
“අපගේ පරමාධිපතියාණනි! අපගේ ගමන් අතර දුරස් කරනු මැනව” යැයි ඔවුහු පැවසූහ. ඔවුහු ඔවුනටම අපරාධ කර ගත්තෝය. එහෙයින් අපි ඔවුන් කතාන්තර බවට පත් කළෙමු. ඔවුන් කීතු කීතු වලට ඉරා දැමුවෙමු. නියත වශයෙන්ම එහි ඉවසිලිවන්ත කෘතවේදී සෑම කෙනෙකුටම සංඥා ඇත.
Verse 20
ඉබ්ලීස් ඔවුන් වෙත ඔහුගේ සිතුවිලි සැබෑ කරවීය. එහෙයින් දෙවියන් විශ්වාස කරන්නන් අතුරින් පිරිසක් හැර ඔවුහු ඔහු (සත්‍යවාදියකු ලෙස සලකා) අනුගමනය කළෝය.
Verse 21
තවද ඔවුන් කෙරෙහි ඔහුට කිසිදු ආධිපත්‍යයක් නොවීය. නමුත් මතු ලොව පිළිබඳ ව ඒ ගැන සැකයෙහි පසුවන අය අතුරින් විශ්වාස කරනුයේ කවුරුන්දැයි අප දැනගනු පිණිස මිස එව නොවීය. තවද ඔබේ පරමාධිපති සියලු දෑ සංරක්ෂා කරන්නාය.
Verse 22
අල්ලාහ්ගෙන් තොර ව නුඹලා විශ්වාස කළවුන් නුඹලා ඇරයුම් කරනු. අහස්හි හා මහපොළොවේ අණුවක තරම් ප්‍රමාණක් හෝ ඔවුන් සතුව නැත. තවද ඒ දෙකෙහි කිසිදු හවුලක්ද ඔවුනට නොමැත. ඔවුන් අතුරින් කිසිදු උරදෙන්නකු හෝ ඔහුට නැතැයි (නබිවරය!) ඔබ පවසනු.
Verse 23
(මලක්වරු අතරින්) කවරෙකුට ඔහු අවසර දුන්නේ ද ඔහුට හැර ඔහු අබියස මැදිහත්වීම ප්‍රයෝජනවත් නොවෙයි. ඔවුන්ගේ හදවත් තුළින් බිය තුරන් කරනු ලැබූ විට නුඹලාගේ පරමාධිපති කුමක් පැවසුවේ දැයි ඔවුහු විමසූහ. සත්‍යය යැයි ඔවුහු පැවසූහ. තවද ඔහු අතිශ්‍රේෂ්ඨ අති උත්තරීතරය.
Verse 24
“අහස් වලින් හා මහපොළොවේ නුඹලාට පෝෂණය දෙනුයේ කවුදැයි” (නබිවරය!) ඔබ විමසනු. “අල්ලාහ්” යැයි ඔබ පවසනු. “තවද නියත වශයෙන්ම අප ද එසේ නැතහොත් නුඹලා ද යහ මග මත හෝ එසේ නැතහොත් පැහැදිලි මුළාවෙහි සිටිනුයේ?”
Verse 25
“අප කළ වැරදි පිළිබඳ නුඹලා විමසනු නොලබන්නෙහුය. එමෙන්ම නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අපි විමසනු නොලබන්නෙමු” යැයි (නබිවරය!) ඔබ පවසනු.
Verse 26
“අපගේ පරමාධිපති අප අතර එක්රැස් කර යුක්තියෙන් යුතු ව අප අතර තීන්දු දෙයි. තවද ඔහු සර්වඥානී මහා තීරකය” යැයි පවසනු.
Verse 27
“නුඹලා හවුල්කරුවන් ලෙස ඔහු සමඟ සම්බන්ධ කළ අය මා හට පෙන්වනු. එසේ නොව, අල්ලාහ් වන ඔහු මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරීයය” යැයි පවසනු.
Verse 28
මිනිස් සංහතියට සමස්තයක් වශයෙන් ශුභාරංචි දන්වන්නකු හා අවවාද කරන්නෙකු ලෙසින් මිස අපි ඔබ නොඑව්වෙමු. එනමුත් ජනයා අතුරින් බහුතරයක් දෙනා නොදනිති.
Verse 29
තවද “නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මෙම ප්‍රතිඥාව කවදාදැ”යි ඔවුහු විමසති.
Verse 30
“එක් දිනක ප්‍රතිඥාව නුඹලාට ඇත. නුඹලා එයින් මොහොතක් හෝ ප්‍රමාද නොවනු ඇත. තවද නුඹලා පෙරටු වන්නේ ද නැත” යැයි පවසනු.
Verse 31
“සැබැවින්ම අපි මෙම කුර්ආනය හා එය ඉදිරියේ ඇති දෑ විශ්වාස නොකරන්නෙමු” යැයි දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් පවසා සිටියහ. ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන් හිටවනු ලැබූ විට ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකු වෙත (දොස් නගා) ප්‍රකාශ යොමු කරනු ඔබ දුටුවේ නම්, දුර්වල වූවන් උඩඟු වූවන් දෙස බලා ‘නුඹලා නොවී නම් අපි දෙවියන් විශ්වාස කරන්නන් වන්නට තිබුණි’ යැයි පවසති.
Verse 32
උඩඟු වූවෝ දුර්වල වූවන් දෙස බලා “නුඹලා වෙත යහ මග පැමිණීමෙන් පසු ව එයින් වැළැක්වූයේ අප දැ”යි විමසති. “එසේ නොව නුඹලා වැරදි කරමින් සිටින්නෝ වූහ.”
Verse 33
දුර්වල වූවන් උඩගු වූවන් දෙස බලා “එසේ නොව (ඊට හේතුව) අල්ලාහ් ව අප ප්‍රතික්ෂේප කරන්නටත් ඔහුට අප සමානයන් තබන්නටත් අප වෙත නුඹලා අණ කරමින් රාත්‍රියෙහි හා දහවලෙහි කළ කුමන්ත්‍රණය වේ” යැයි පවසති. දඬුවම ඔවුහු දුටු කළ පසුතැවිල්ලට පත් වෙති. ප්‍රතික්ෂේප කළවුන්ගේ ගෙලවල්හි අපි විලංගු දමන්නෙමු. ඔවුන් සිදුකරමින් සිටි දෑට මිස ඔවුන් ප්‍රතිඵල දෙනු ලබන්නෙහු ද?
Verse 34
කිසියම් ගම්මානයකට අවවාද කරන්නෙකු අප යැවූ විට එහි සැපවත් ජීවිතයක් ගත කරමින් සිටියවුන් ‘කවර කරුණක් නුඹලා වෙත එවනු ලබන්නේ ද එය අපි ප්‍රතික්ෂේප කරන්නෝ වෙමු’ යැයි පවසා සිටියා මිස නැත.
Verse 35
තවද “අපි ධනයෙන් හා දරුවන්ගෙන් අධික අය වන්නෙමු. තවද අපි දඬුවම් කරනු ලබන්නන් අතුරින් නොවෙමු” යැයි ඔවුහු පැවසූහ.
Verse 36
“නියත වශයෙන්ම මාගේ පරමාධිපති ඔහු අභිමත කරන අයට පෝෂණ සම්පත් විස්තීරණ කරයි. තවද ඔහු සීමා කරයි. නමුත් ජනයා අතුරින් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති” යැයි (නබිවරය) පවසනු.
Verse 37
නුඹලාගේ වස්තුව හෝ නුඹලාගේ දරුවන් හෝ අප අබියසට නුඹලාව සමීප කරවන්නක් ලෙස නොමැත. නමුත් විශ්වාස කොට යහකම් කළ අය හැර, ඔවුන් සිදු කළ දෑ සඳහා දෙගුණයක් ප්‍රතිඵල ඇත්තෝ ඔවුහුමය. තවද ඔවුහු (ස්වර්ග) කුටි වල සුරක්ෂිතයෝ වෙති.
Verse 38
තවද අපගේ වදන් නිශ්ඵල කරන්නට කැප වී සිටින්නන් වන ඔවුහු දඬුවමට සම්මුඛ කරනු ලබන්නෝ වෙති.
Verse 39
“නියත වශයෙන්ම මාගේ පරමාධිපති ඔහුගේ ගැත්තන් අතුරින් ඔහු අභිමත කරන අයට පෝෂණ සම්පත් ව්‍යාප්ත කර දෙයි. තවද ඔහුට (එය) සීමා කරයි. තවද නුඹලා කවර දෙයක් වියදම් කරන්නෙහු ද එය ඔහුට පසු ගෙවනු ඇත. තවද ඔහු පෝෂණ සම්පත් ලබා දෙන්නන්ගෙන් අති ශ්‍රේෂ්ඨය” යැයි (නබිවරය) පවසනු.
Verse 40
තවද එදින ඔහු ඔවුන් සියලු දෙනා එක්රැස් කොට “නුඹලාව නමදිමින් සිටියවුන් මොවූහු දැ?”යි විමසයි.
Verse 41
“ඔබ සුවිශුද්ධය. ඔවුන් නොව ඔබමය අපගේ භාරකරු. නමුත් ඔවුහු ජින්නුන්ට ගැතිකම් කරමින් සිටියහ. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ඔවුන් ගැන විශ්වාස කරන්නෝ යැ”යි ඔවුහු පවසති.
Verse 42
එහෙයින් අද දින නුඹලා අතුරින් ඇතැමෙකු ඇතැමෙකුට ප්‍රයෝජනයක් කිරීමට හෝ හිංසාවක් කිරීමට හෝ සතු නොවෙයි. “නුඹලා කවර දෙයක් බොරු කරමින් සිටියෙහු ද එම ගින්නේ දඬුවම භුක්ති විඳිනු”යැයි අපරාධ කළවුනට අපි පවසන්නෙමු.
Verse 43
ඔවුන් වෙත අපගේ පැහැදිලි වදන් පාරායනය කරනු ලබන විට “ඔහු නුඹලාගේ මුතුන් මිත්තන් ගැතිකම් කරමින් සිටි දැයින් නුඹලා වළක්වන්නට බලන මිනිසෙකු මිස නැතැයි” ඔවුහු පැවසූහ. තවද “මෙය ගොතනු ලැබූ ප්‍රබන්ධයක් මිස නැතැයි” ද ඔවුහු පැවසූහ. ඔවුන් වෙත සත්‍යය පැමිණි කල්හි “මෙය පැහැදිලි හූනියමක් මිස නැතැයි” එය ප්‍රතික්ෂේප කළවුන් පැවසූහ.
Verse 44
ඔවුන් ඒවා හැදෑරිය හැකි ග්‍රන්ථ වලින් අපි ඔවුනට නොදුන්නෙමු. තවද (නබිවරය!) ඔබට පෙර කිසිදු අවවාද කරන්නකු අපි ඔවුන් වෙත නොඑව්වෙමු.
Verse 45
ඔවුනට පෙර සිටියවුන් බොරු කළෝය. අප ඔවුනට දුන් දැයින් දහයෙන් කොටසක් හෝ ඔවුහු නොලැබූහ. නමුත් ඔවුහු මාගේ දූතවරු බොරු යැයි පැවසූහ. එසේ නම් මාගේ දඬුවම කෙසේ වීද?
Verse 46
“නියත වශයෙන්ම මම නුඹලාට උපදෙස් දෙනුයේ එක් දෙයක් පිළිබඳවය. එනම් නුඹලා අල්ලාහ් වෙනුවෙන් දෙදෙනා බැගින් හෝ තනි ව හෝ නැගී සිට පසුව සිතා බලනු. නුඹලාගේ සහචරයාට උමතුවක් නැත. ඉදිරියේ ඇති දැඩි දඬුවම පිළිබඳ නුඹලාට අවවාද කරන්නකු මිස ඔහු නැත” යැයි (නබිවරය!) ඔබ පවසනු.
Verse 47
“මම නුඹලාගෙන් කිසිදු කුලියක් නොඉල්ලමි. එය නුඹලා සතුය. මාගේ කුලිය අල්ලාහ් වෙත මිස නැත. තවද ඔහු සියලු දෑ කෙරෙහි සාක්ෂිකරුය” යැයි ඔබ පවසනු.
Verse 48
“නියත වශයෙන්ම ගුප්ත දෑ පිළිබඳ මහා ඥානියා වූ මාගේ පරමාධිපති සත්‍යය පැහැදිලි කරනු ඇතැයි” නබිවරය ඔබ පවසනු.
Verse 49
“සත්‍යය පැමිණියේය. අසත්‍යය (කිසිවක්) ආරම්භ නොකරයි. එමෙන්ම නැවත යොමු නොකරයි” යැයි ඔබ පවසනු.
Verse 50
“මම නොමග ගියේ නම් එසේ මම නියත වශයෙන්ම නොමග යනුයේ මටම එරෙහිවය. තවද මම (යහ)මග ලැබුවේ නම් එය මා වෙත මාගේ පරමාධිපති දන්වා සිටි දෑ හේතුවෙනි. නියත වශයෙන්ම ඔහු සර්ව ශ්‍රාවකය. ඉතා සමීපය” යැයි (නබිවරය!) පවසනු.
Verse 51
ඔවුහු තැතිගත් අවස්ථාව ඔබ දකින්නෙහි නම්, එවිට (ඔවුනට) මිදීමක් නැත. තවද ඔවුහු සමීප ස්ථානයකින් හසුකර ගනු ලබන්නෝය.
Verse 52
“අපි (දැන්) එය විශ්වාස කළෙමු” යැයි ඔවුහු පවසති. තවද දූර ස්ථානයකින් ඔවුන් විශ්වාසය ලැබීම ඔවුනට කෙසේ නම් විය හැකිද?
Verse 53
මීට පෙර ද සැබැවින්ම ඔවුහු එය ප්‍රතික්ෂේප කළෝය. තවද ඔවුහු දූර ස්ථානයක සිට ගුප්තය පිළිබඳ සැක පහළ කරති.
Verse 54
මීට පෙර ඔවුනට සමාන වූවන් සම්බන්ධයෙන් කටයුතු කරනු ලැබුවාක් මෙන් ඔවුන් අතර හා ඔවුන් ආශා කරන දෑ අතර බාධක දමනු ලැබීය. නියත වශයෙන්ම ඔවුහු අන්ත සැකයෙහි සිටියහ.
تقدم القراءة