الترجمة السنهالية වෙතින් السنهالية භාෂාවෙන් සූරා الجن හි පරිවර්තනය
Verse 1
“නියත වශයෙන්ම ජින්නුන්ගෙන් පිරිසක් සවන් දී සැබැවින්ම අපි පුදුමාකාර කුර්ආනයකට සවන් දුන්නෙමු.
Verse 2
එය ඍජු මාර්ගය වෙත මග පෙන්වයි. එහෙයින් අපි එය විශ්වාස කළෙමු. අපගේ පරමාධිපතිට කිසිවකු හෝ ආදේශ නොකරන්නෙමු යැයි ඔවුහු පැවසූ බව මා වෙත දේව පණිවිඩ දන්වනු ලැබීය” යැයි (නබිවරයාණනි) නුඹ පවසනු.
Verse 3
“තවද නියත වශයෙන්ම අපගේ පරමාධිපතිගේ කීර්තිය උත්තරීතර විය. ඔහු සහකාරියක හෝ දරුවෙකු හෝ නොගත්තේය.”
Verse 4
තවද අප අතර සිටි අඥානයකු අල්ලාහ්ට එරෙහි ව ප්‍රබන්ධ කතා පවසා සිටියේය.”
Verse 5
“මිනිස් වර්ගයා හා ජින් වර්ගයා අල්ලාහ්ට එරෙහි ව බොරුවක් කිසිවිටෙක නොපවසනු ඇතැයි නියත වශයෙන්ම අපි සිතුවෙමු.”
Verse 6
තවද නියත වශයෙන්ම මිනිස් වර්ගයාගෙන් පිරිසක් ජින් වර්ගයාගෙන් වූ පිරිසකගෙන් ආරක්ෂාව පැතුවෝය. එහෙයින් ඔවුහු ඔවුනට උඩඟුකම අධික කළෝය.
Verse 7
අල්ලාහ් කිසිවකු හෝ නැවත (පණ දී) එවන්නේම නැතැයි නුඹලා සිතුවාක් මෙන් සැබැවින්ම ඔවුහු ද සිතුවෝය.
Verse 8
තවද නියත වශයෙන්ම අපි අහස ස්පර්ශ කිරිමට අපේක්ෂා කළෙමු. එවිට එය දැඩි මුරකාවලින් හා උල්කාවන්ගෙන් පිරී තිබෙනු අපි දුටුවෙමු.
Verse 9
සවන් දීම සඳහා අසුන් ගන්නා ස්ථානයන්හි අසුන් ගන්නට අපි පුරුදුව සිටියෙමු. දැන් කවරෙකු හෝ සවන් දුන්නේ නම් එවිට උල්කා ප්‍රහාර ඔහුව රැක සිටිනු ඇත.
Verse 10
තවද මහපොළොවේ වෙසෙන්නන් හට නපුරක් අපේක්ෂා කරනු ලබන්නේ ද එසේ නැතහොත් ඔවුන්ගේ පරමාධිපති ඔවුනට යහමග අපේක්ෂා කරන්නේ දැයි නියත වශයෙන්ම අපි නොදනිමු.
Verse 11
තවද නියත වශයෙන්ම අප අතුරින් දැහැමියෝ ද වෙති. එමෙන්ම අප අතුරින් එසේ නොවන්නන් ද වෙති. අපි විවිධ මාර්ග වල වෙන් ව සිටියෙමු.
Verse 12
තවද මහපොළොවේ අල්ලාහ් පරාජය කිරීමට අපට නොහැකි බවත් පලා යෑමෙන් ඔහු පරාජයට පත් කළ නොහැකි බවත් සැබැවින්ම අපි සිතුවෙමු.
Verse 13
තවද නියත වශයෙන්ම අපි යහමගට සවන් දුන් කල්හි අපි එය විශ්වාස කළෙමු. එහෙයින් කවරෙකු තම පරමාධිපති විශ්වාස කරන්නේ ද එවිට පාඩුවක් ගැන හෝ අසාධාරණයක් ගැන හෝ ඔහු බිය නොවනු ඇත.
Verse 14
තවද නියත වශයෙන්ම අප වනාහි අප අතුරින් මුස්ලිම්වරුන්ද වෙති. එමෙන්ම අප අතුරින් (සත්‍යයෙන්) බැහැර වූවන්ද වෙති. එහෙයින් කවරුන් අවනත වන්නෝ ද ඔවුහු ඍජු මග සොයා ගත්තෝය.
Verse 15
ﭝﭞﭟﭠﭡ
ﭢ
තවද (සත්‍යයෙන්) බැහැර වූවන් වූ කලී නිරය සඳහා ඉන්ධන බවට ඔවුහු පත් වූහ.
Verse 16
එම (යහ) මාර්ගයේ ඔවුන් ස්ථාවර ව සිටියේ නම් අපි ඔවුනට ජලය බහුල වශයෙන් සපයන්නෙමු.
Verse 17
එය අපි ඔවුන් එහි පරීක්ෂාවට ලක් කරනු පිණිසය. තවද කවරෙකු තම පරමාධිපති මෙනෙහි කිරීමෙන් ඉවත් වූයේ ද ඔහු ඔහු ව දරුණු දඬුවමට යොමු කරනු ඇත.
Verse 18
තවද නියත වශයෙන්ම මස්ජිදයන් අල්ලාහ්ට අයත් ය. එහෙයින් නුඹලා අල්ලාහ් සමග කිසිවෙක් නොඅයදිනු.
Verse 19
තවද නියත වශයෙන්ම අල්ලාහ්ගේ ගැත්තා (නබිවරයා) ඔහු වෙත ඇරයුම් කිරීමට නැගී සිටී කල්හි ඔවුහු කණ්ඩායම් වශයෙන් ඔහු වෙත සමීපවන්නට වූහ.
Verse 20
“නියත වශයෙන්ම මා ඇරයුම් කරනුයේ මාගේ පරමාධිපතිටය. තවද මම ඔහුට කිසිවකු හෝ ආදේශ නොකරමි” යැයි (නබිවරය) නුඹ පවසනු.
Verse 21
“නුඹලාට යම් හානියක් හෝ යම් මග පෙන්වීමක් හෝ සිදු කරන්නට නියත වශයෙන්ම මා බලය නොදරමි” යැයි නුඹ පවසනු.
Verse 22
“(මා අවනත නොවුයේ නම්) අල්ලාහ්ගෙන් මා ආරක්ෂා කරන්නට කිසිවකුට නොහැක්කේමය. තවද ඔහු හැර වෙනත් පිළිසරණක් මම කිසිවිටෙක නොලබමි” යැයි නුඹ පවසනු.
Verse 23
අල්ලාහ්ගෙන් හා ඔහුගේ දූත පණිවිඩයන්ගෙන් දැනුම් දීම මිස (වෙනත් කිසිවක් මා සතු නොවේ.) කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්හට පිටුපාන්නේද එවිට නියත වශයෙන්ම ඔහුට නිරා ගින්න ඇත. ඔවුහු එහි නිරන්තරයෙන්ම සදාතනිකයින් වෙති.
Verse 24
අවසානයේ ප්‍රතිඥා දෙනු ලබන දෑ ඔවුහු දුටු විට උදව්කරුගෙන් වඩාත් දුර්වල කවුරුන් දැයි ද සංඛ්‍යාවෙන් වඩාත් අඩු කවුරුන් දැයි ද ඔවුහු මතු දැන ගනු ඇත.
Verse 25
“නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ සමීප ද? එසේ නැතහොත් මාගේ පරමාධිපති එයට දිගු කලක් තබා ඇත්තේදැයි ද මම නොදනිමි” යැයි නුඹ පවසනු.
Verse 26
ඔහු ගුප්ත දෑ දන්නාය. එහෙයින් ඔහුගේ ගුප්ත දෑ කිසිවකුට ඔහු හෙළිදරව් නොකරයි.
Verse 27
නමුත් රසූල්වරයකුගෙන් ඔහු තෝරා ගත් අයට හැර. එවිට ඔහු ඉදිරියෙන් හා ඔහු පසුපසින් නියත වශයෙන්ම ඔහු ආරක්ෂකයින් ගමන් කරවනු ඇත.
Verse 28
ඔවුන්ගේ පරමාධිපතිගේ දූත පණිවිඩ ඔවුන් දැනුම් දී ඇත්තේදැයි ඔහු දැන ගනු පිණිසය. ඔවුන් සමග ඇති දෑ පිළිබඳ ව ඔහු සර්ව ප්‍රකාරයෙන් දැන සිටියි. තවද සියලු දෑ ගණන් කොට තබා ඇත.
تقدم القراءة