الترجمة السنهالية වෙතින් السنهالية භාෂාවෙන් සූරා التوبة හි පරිවර්තනය
Verse 1
(මෙය) දේව ආදේශ කරන්නන් අතුරින් නුඹලා ගිවිසුම් ඇති කර ගත් අය වෙත වූ අල්ලාහ්ගෙන් හා ඔහුගේ දූතයාණන්ගෙන් වූ ඉවත් වීමේ ප්‍රකාශයයි.
Verse 2
මාස හතරක් මෙම භූමියේ සැරිසරනු. නියත වශයෙන්ම නුඹලා අල්ලාහ් ව නිෂ්ඵල කරන්නට හැකියාවන්ත නොවන බවත් තවද නියත වශයෙන්ම අල්ලාහ් දේව ප්‍රතික්ෂේපකයින් අවමන් කරන්නා බවත් නුඹලා දැන ගනු.
Verse 3
සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ආදේශ තබන්නන් ගෙන් ඉවත් විය. (මේ බව) මහා හජ් දිනයෙහි අල්ලාහ් වෙතින් හා ඔහුගේ දූතයාණන් වෙතින් වූ දැනුම් දීමය. නුඹලා පශ්චාත්තාප වී මිදුණේ නම් එවිට එය නුඹලාට යහපත්ය. තවද නුඹලා පිටුපෑවෙහු නම් එවිට සැබැවින්ම නුඹලා අල්ලාහ් ව නිෂ්ඵල කරන්නට හැකියාවන්ත නොවන බව දැනගනු. ප්‍රතික්ෂේප කළවුනට වේදනීය දඬුවමක් ඇති බව නුඹ ශුභාරංචි දන් වනු.
Verse 4
නමුත් ආදේශ කරන්නන් අතුරින් නුඹලා ගිවිස ගත් පසු නුඹලාට (එම ගිවිසුමෙහි) කිසිදු අඩුවක් නොකර නුඹලාට එරෙහි ව කිසිවෙකුට උර නොදුන් අය හැර. එහෙයින් ඔවුන්ගේ නියමිත කාලය දක්වා ඔවුන්ගේ ගිවිසුම ඔවුන් වෙත පූර්ණ ව ඉටු කරනු. නියත වශයෙන්ම අල්ලාහ් දේව බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නන් ප්‍රිය කරයි.
Verse 5
ශුද්ධ මාස ගෙවී ගිය පසු නුඹලා ආදේශ කරන්නන් නසා දමනු. තවද ඔවුන් ව අල්ලා ගනු. තවද ඔවුන් ව වටලනු. (ඔවුන්) යන එන සෑම තැනකම ඔවුනට එරෙහි ව (රැක) වාඩි වී සිටිනු. නමුත් ඔවුන් පසුතැවිලි වී මිදී සලාතය විධිමත් ව ඉටු කොට zසකාත් ද පිරිනැමුවේ නම් ඔවුන්ගේ මාර්ගයේ ඔවුන් ව නුඹලා අත හැර දමනු. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. කරුණා ගුණයෙන් යුක්තය.
Verse 6
ආදේශ කරන්නන් අතුරින් එක් අයකු නුඹගෙන් රැකවරණය පැතුවේ නම් එවිට ඔහු අල්ලාහ්ගේ වදනට සවන් දෙන තෙක් නුඹ ඔහුට රැකවරණය දෙනු. පසු ව ඔහු ආරක්ෂිතව සිටිය හැකි ස්ථානයක් වෙත ඔහු ව සේන්දු කරනු. හේතුව නියත වශයෙන්ම ඔවුන් නොදන්නා පිරිසක් බැවිනි.
Verse 7
මස්ජිදුල් හරාම් අසල නුඹලා ගිවිස ගත් උදවියට හැර ආදේශ කරන්නන්හට අල්ලාහ් වෙතින් හා ඔහුගේ දූතයාණන් වෙතින් ගිවිසුමක් ඇති වන්නේ කෙසේ ද?. ඔවුන් නුඹලාට ඍජු ව කටයුතු කරන තාක් කල් නුඹලා ද ඔවුනට ඍජු ව කටයුතු කරනු. නියත වශයෙන්ම අල්ලාහ් දේව බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නන් ප්‍රිය කරයි.
Verse 8
(ගිවිසුම පවතිනුයේ) කෙසේ ද නුඹලාට එරෙහි ව ඔවුන් ජය ලබන්නේ නම් නුඹලා සමඟ පවතින සම්බන්ධතාව හෝ ගිවිසුම හෝ ඔවුන් නොසලකා හරිති. ඔවුන්ගේ කටින් නුඹලා ව තෘප්තියට පත් කරති. නමුත් ඔවුන්ගේ හදවත් එයට පිළිකුල් කරති. තවද ඔවුන්ගෙන් බහුතරයක් පාපතරයෝය.
Verse 9
ඔවුන් අල්ලාහ්ගේ වදන් ස්වල්ප මිලකට විකුණුවෝය. එහෙයින් ඔවුහු ඔහු(අල්ලාහ්)ගේ මාර්ගයෙන් වැළැක්වූහ. නියත වශයෙන්ම ඔවුන් සිදු කරමින් සිටි දෑ නපුරු විය.
Verse 10
දේව විශ්වාසවන්තයකු විෂයයෙහි කිසිදු (ඥාතී) සම්බන්ධතාවක් හෝ ගිවිසුමක් ගැන හෝ ඔවුහු සැලකිලිමත් නොවෙති. තවද ඔවුහුමය සීමාව ඉක්මවා ගියවුන් වන්නෝ.
Verse 11
නමුත් ඔවුහු පශ්චාත්තාප වී (වරදින්) මිදී සලාතය ද විධිමත් ව ඉටු කර zසකාතය ද පිරිනැමුවේ නම් එවිට ඔවුහු දහමෙහි නුඹලාගේ සහෝදරයෝ වෙති. තවද වටහා ගන්නා පිරිසට අපි මෙම වදන් පැහැදිලි කරන්නෙමු.
Verse 12
ඔවුන් ගිවිස ගත් පසු ඔවුන්ගේ ගිවිසුම කඩ කොට නුඹලාගේ දහම පිළිබඳ ව ඔවුන් දොස් නැගුවේ නම් එවිට නුඹලා දේව ප්‍රතික්ෂේපිත නායකයින් සමඟ සටන් වදිනු. (එම වැරදි ගමනින්) ඔවුන් වැළකී සිටිය හැකි වනු පිණිස නියත වශයෙන්ම ඔවුනට කිසිදු ගිවිසුමක් නොවිය යුතුය.
Verse 13
ඔවුන්ගේ ගිවිසුම බිද දමා මෙම දූතයාණන් ව පිටුවහල් කිරීමට සැලසුම් කළ පිරිස තමන් විසින් නුඹලා සමඟ (සටන් කිරීමට) පළමු වර ආරම්භ කළ තත්ත්වයේ ඔවුන් සමඟ නුඹලා සටන් කළ යුතු නොවේ ද? නුඹලා ඔවුනට බිය වන්නෙහු ද? නුඹලා විශ්වාසවන්තයින් ව සිටියෙහු නම් නුඹලා බිය වීමට වඩාත් සුදුස්සා වන්නේ අල්ලාහ්ය.
Verse 14
ඔවුන් සමඟ සටන් කරනු. නුඹලාගේ අත් වලින් අල්ලාහ් ඔවුනට දඬුවම් කරයි. තවද ඔවුන් ව අවමානයට පත් කරයි. ඔවුනට එරෙහි ව නුඹලාට උදව් කරයි. දේව විශ්වාසවන්ත පිරිසගේ හදවත් හි ඔහු සුවය ඇති කරයි.
Verse 15
තවද ඔවුන්ගේ හදවත් හි ඇති කෝපය ඔහු පහ කරයි. තමන් අභිමත කරන අය වෙත අල්ලාහ් සමාව ලබා දෙයි. තවද අල්ලාහ් සර්ව ඥානීය. සියුම් ඥානය ඇත්තාය.
Verse 16
නුඹලා අතුරින් (යුද්ධයට) කැපවන්නන් ගැන ද අල්ලාහ් ද ඔහුගේ රසූල්වරයා ද දේව විශ්වාසවන්තයින් ද හැර වෙනත් අය සුහද මිතුරන් ලෙස නොගත් අය ගැන ද ඔහු (පරීක්ෂාවට ලක් කර) නොදැනුවත් ව අත හැර දමනු ලබනු ඇතැයි නුඹලා සිතන්නෙහු ද? තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
Verse 17
ආදේශ තබන්නන් (තමන්ගේ) දේව ප්‍රතික්ෂේපය ගැන තමන්ට එරෙහි ව සාක්ෂි දරන්නන් ලෙස සිටිය දී අල්ලාහ්ගේ මස්ජිදයන් පරිපාලනය කිරීම ඔවුනට සුදුසු නොවෙති. තම ක්‍රියාවන් නිෂ්ඵල වී ගිය අය මොවුහුය. තවද නිරා ගින්නේ ඔවුහු සදාතනිකයෝ වෙති.
Verse 18
අල්ලාහ්ගේ මස්ජිදයන් පරිපාලනය කරනුයේ අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කොට සලාතය විධිමත් ව ඉටු කර zසකාතය ද පිරිනමා අල්ලාහ් හැර වෙන කිසිවකුට බිය නොවූ අයයි. ඔවුහු යහ මඟ ලැබූවන් අතුරින් සිටීම යෙහෙකි.
Verse 19
හජ් වන්දනාකරුවන්ට ජලය සපයා මස්ජිදුල් හරාමය පරිපාලනය කරන්නන් ව අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කොට අල්ලාහ්ගේ මාර්ගයේ කැපවූවන් මෙන් නුඹලා පත් කළෙහි ද? අල්ලාහ් අබියස ඔවුන් එක සමාන නොවෙති. තවද අල්ලාහ් අපරාධකාරී ජනයාට මඟ නොපෙන්වයි.
Verse 20
විශ්වාස කොට (තම වාසස්ථාන වලින්) නික්ම ගොස් අල්ලාහ්ගේ මාර්ගයේ තම ධනය හා ජීවිත පරිත්‍යාග කළවුන් අල්ලාහ් අබියස නිලයෙන් අති මහත් අය වෙති. තවද ජයග්‍රහකයෝ ඔවුහුමය.
Verse 21
ඔවුන්ගේ පරමාධිපති ඔහුගෙන් වූ දයාව තෘප්තිය හා (ස්වර්ග) උයන් පිළිබඳ ව ඔවුනට ශුභාරංචි දන්වයි. සදා ස්ථායී සුවය එහි ඔවුනට ඇත.
Verse 22
(ඔවුහු) එහි කවදත් සදාතනිකයින් වෙති. නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහු අබියස අතිමහත් ප්‍රතිඵල ඇත.
Verse 23
අහෝ විශ්වාස කළවුනි !, නුඹලාගේ පියවරුන් හා නුඹලාගේ සහෝදරයින් දේව විශ්වාසයට වඩා දේව ප්‍රතික්ෂේපය ප්‍රිය කළේ නම් ඔවුන් ව භාරකරුවන් ලෙස නුඹලා නොගනු. නුඹලා අතුරින් කවරෙකු ඔවුන් භාරකරුවන් ලෙස ගන්නේ ද ඔවුහුමය අපරාධකරුවෝ.
Verse 24
නුඹලාගේ පියවරුන්, නුඹලාගේ දරුවන්, නුඹලාගේ සහෝදරයන්, නුඹලාගේ කලත්‍රයන්, නුඹලාගේ පවුලේ ඥාතීන්, නුඹලා උපයන ධනය, පාඩු ලබනු ඇතැයි නුඹලා බිය වන ව්‍යාපාරය නුඹලා ප්‍රිය කරන වාසස්ථාන අල්ලාහ්ටත් ඔහුගේ රසූල්වරයාටත් ඔහුගේ මාර්ගයේ කැපවීමටත් වඩා නුඹලා වෙත ප්‍රිය මනාප නම් එවිට අල්ලාහ් ඔහුගේ නියෝගය ගෙන එන තෙක් නුඹලා අපේක්ෂාවෙන් සිටිනු. තවද අල්ලාහ් පාපතර ජනයාට මඟ නොපෙන්වයි.
Verse 25
සැබැවින්ම අල්ලාහ් බොහෝ තැන් වල නුඹලාට උදව් කළේය. තවද හුනෙයින් දිනයෙහි නුඹලාගේ අධිකත්වය නුඹලා ව මවිත කළ අවස්ථාවේ නුඹලාට කිසිවක් ප්‍රයෝජනවත් නොවීය. මහපොළොව එය පුළුල් ව තිබුණ ද නුඹලාට පටු විය. පසු ව නුඹලා පසුපසලමින් පලා ගියෙහුය.
Verse 26
පසු ව අල්ලාහ් ඔහුගේ ශාන්තභාවය ඔහුගේ දූතයාණන් වෙත හා දේව විශ්වාසවන්තයින් වෙත පහළ කළේය. තවද නුඹලා නුදුටු සේනාවන් ඔහු පහළ කළේය. ප්‍රතික්ෂේප කළවුන්ට දඬුවම් කළේය. එය දේව ප්‍රතික්ෂේපකයින්ගේ ප්‍රතිවිපාකයයි.
Verse 27
ඉන් පසු ව අල්ලාහ් තමන් අභිමත කරන අයට (ඔවුන්ගේ) පශ්චාත්තාපය පිළිගෙන සමාව දුන්නේය. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය කරුණා ගුණයෙන් යුක්තය.
Verse 28
විශ්වාස කළවුනි, දේව ආදේශ කරන්නන් කිලිටිය. එබැවින් ඔවුන්ගේ මෙම වසරට පසු ව ඔවුන් මස්ජිදුල් හරාමයට සමීප නොවිය යුතුය. තවද නුඹලා දිළිඳුකමට බිය වූයේ නම් ඔහු අභිමත කළේ නම් ඔහුගේ භාග්‍යය තුළින් අල්ලාහ් නුඹලා ව ධනවත්භාවයට පත් කරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානීය. සියුම් ඥානය ඇත්තාය.
Verse 29
දේව ග්‍රන්ථ දෙනු ලැබූවන් අතුරින් අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස නොකරන, අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් තහනම් කළ දෑ තහනම් නොකරන, සත්‍ය දහම පිළි නොපදින අය සමඟ ඔවුන් යටහත් පහත් වී (ස්ව කැමැත්තෙන්) ජිසියා බදු තම අතින් දෙන තෙක් ඔවුන් සමඟ නුඹලා සටන් වදිනු.
Verse 30
උසෙයිර් අල්ලාහ්ගේ පුත්‍රයාණන් බව යුදෙව්වෝ පැවසූහ. එමෙන්ම මසීහ් අල්ලාහ්ගේ පුත්‍රයාණන් බව කිතුනුවෝ පැවසූහ. එය ඔවුන්ගේ මුවවල් වලින් පවසන ඔවුන්ගේ ප්‍රකාශයයි. මීට පෙර ප්‍රතික්ෂේප කළවුන්ගේ ප්‍රකාශයට ඔවුහු සමාන වූහ. අල්ලාහ් ඔවුන් ව විනාශ කරයි. ඔවුන් වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?
Verse 31
අල්ලාහ්ගෙන් තොර ව ඔවුහු ඔවුන්ගේ ආගමික විද්වතුන් ද ඔවුන්ගේ ආගමික නායකයින් ද මර්යම්ගේ පුත් මසීහ් ව ද දෙවිවරුන් ලෙස ගත්තෝය. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. ඔවුන් ආදේශ කරන දැයින් ඔහු පිවිතුරුය.
Verse 32
අල්ලාහ්ගේ ආලෝකය තම කටවල් වලින් (පිඹ) නිවා දැමීමට ඔවුහු අපේක්ෂා කරති. දේව ප්‍රතික්ෂේපකයින් පිළිකුල් කළ ද අල්ලාහ් ඔහුගේ ආලෝකය ඔහු පූර්ණවත් නොකර අත හැර නොදමයි.
Verse 33
දේව ආදේශකයින් පිළිකුල් කළ ද සියලු දහම් වලට වඩා ඔහුගේ දහම හෙළිකර (උතුම් භාවයට පත් කර)නු පිණිස යහ මඟ හා සත්‍යය දහම සමඟ තම දූතයාණන් ව එව්වේ ඔහුමය.
Verse 34
අහෝ විශ්වාස කළවුනි ! ආගමික විද්වතුන් හා ආගමික නායකයින්ගෙන් බහුතරයක් දෙනා ජනයාගේ වස්තුව වැරදි ලෙසින් අනුභව කරති. අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයා) වළකති. තවද ඔවුහු රන් රිදී ගොඩ ගසා ගනිති. අල්ලාහ්ගේ මාර්ගයේ ඒවා වියදම් නොකරති. එබැවින් වේදනා සහගත දඬුවමක් ඇති බව නුඹ ඔවුනට ශුභාරංචි පවසනු.
Verse 35
එදින ඒවා නිරා ගින්නෙහි රත් කරනු ලැබේ. පසු ව මේවා නුඹලා නිධන් ගත කළ දෑය. එබැවින් නුඹලා නිධන් ගත කරමින් සිටි දෑ භුක්ති විදිනු (යැයි පවසමින්) ඔවුන්ගේ නළල් මත ද ඔවුන්ගේ ඇලපත් මත ද ඔවුන්ගේ පිටවල් මත ද හංවඩු ගසනු ලැබේ.
Verse 36
නියත වශයෙන්ම අහස් හා මහපොළොව මැවූ දින අල්ලාහ්ගේ නියමයෙහි අල්ලාහ් අබියස මාස ගණන මාස දොළොසකි. ඒවායින් සිව් මසක් පාරිශුද්ධය. එයයි ඍජු දහම වනුයේ. එබැවින් ඒවායෙහි නුඹලා නුඹලාටම අපරාධ කර නොගනු. දේව ආදේශකයින් නුඹලා සමඟ සියල්ලෙහි (සියලු මාසයන්හි) යුද වදිනාක් මෙන් නුඹලා ද ඔවුන් සමඟ සියල්ලෙහි යුද වදිනු. තවද සැබැවින්ම අල්ලාහ් දේව බිය හැඟීමෙන් යුත් අය සමඟ යැයි නුඹලා දැන ගනු.
Verse 37
නියත වශයෙන්ම (තහනම් කළ මාස) කල් දැමීම දේව ප්‍රතික්ෂේපයේ වර්ධනයකි. ප්‍රතික්ෂේප කළවුන් එමගින් නොමඟ යති. ඔවුහු වසරක් එය අනුමත කරති. තවත් වසරක් එය තහනම් කරති. එය අල්ලාහ් පාරිශුද්ධ කළ දෑහි ගණන සාපේක්ෂ කරනු පිණිසය. ඒ අනුව අල්ලාහ් තහනම් කළ දෑ ඔවුහු අනුමත කරති. ඔවුන්ගේ ක්‍රියාවන්හි නපුර ඔවුනට අලංකාර කර පෙන්වන ලදී. තවද අල්ලාහ් දේව ප්‍රතික්ෂේපිත ජනයාට මඟ නොපෙන්වයි.
Verse 38
අහෝ ! විශ්වාස කළවුනි ! නුඹලාට කුමක් සිදු වූයේ ද? අල්ලාහ්ගේ මාර්ගයේ පිටත් ව යනු යැයි නුඹලාට පවසනු ලැබූ විට නුඹලා පොළොවට බර වූහ. මතු ලොවට වඩා මෙලොව ජීවිතය ගැන නුඹලා තෘප්තිමත් වූයෙහු ද? මෙලොව ජීවිතයේ (සතුට) භුක්ති විඳීම මතු ලොවෙහි අල්ප ප්‍රමාණයක් මිස නැත.
Verse 39
නුඹලා පිටත් ව නොයන්නෙහු නම් වේදනීය දඬුවමකින් ඔහු නුඹලාට දඬුවම් කරයි. තවද නුඹලා වෙනුවට වෙනත් පිරිසක් පත් කරයි. එවිට නුඹලා ඔහුට කිසිවකින් හානියක් සිදු කළ නොහැක. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය.
නුඹලා (අපගේ දූතයාණන් වන) මොහුට උදව් නොකරන්නෙහු නම් (දැන ගනු) දෙදෙනාගෙන් දෙවැන්නා ලෙස ඔහු සිටියදීත් දේව ප්‍රතික්ෂේප කළවුන් ඔහු ව පිටුවහල් කළ අවස්ථාවේ දීත් ඔවුන් දෙදෙනාම එම ගුහාවෙහි සිටි අවස්ථාවේදීත් නුඹ දුක් නොවනු. නියත වශයෙන්ම අල්ලාහ් අප සමඟ යැයි ඔහු තම සඟයාට කියූ අවස්ථාවේදීත් සැබැවින්ම අල්ලාහ් ඔහුට උදව් කර ඇත. එවිට අල්ලාහ් ඔහුගේ ශාන්තිය ඔහු වෙත පහළ කළේය. නුඹලා නුදුටු සේනාවක් මඟින් ඔහු ව ශක්තිමත් කළේය. ප්‍රතික්ෂේප කළවුන්ගේ ප්‍රකාශය පහත් බවට පත් කළේය. තවද අල්ලාහ්ගේ ප්‍රකාශය වන එයමය උසස් වන්නේ. තවද අල්ලාහ් සර්ව බලධාරීය. සියුම් ඥානීය.
Verse 41
(සේනා බලය) ස්වල්ප වශයෙන් වුව ද අධික වශයෙන් වුව ද නුඹලා පිටත් ව යනු. තවද නුඹලාගේ වස්තුව හා නුඹලාගේ ජීවිත අල්ලාහ්ගේ මාර්ගයේ කැප කරනු. නුඹලා දැන සිටින්නෙහු නම් එය නුඹලාට ශ්‍රේෂ්ඨය.
Verse 42
(නබිවරය) එය සමීපයෙන් ගත හැකි භාණ්ඩයක් හා මධ්‍යස්ථ (සාමාන්‍ය) ගමනක් වී නම් ඔවුහු නුඹ ව අනුගමනය කරන්නට තිබුණි. එනමුත් යා යුතු සීමාව ඔවුනට දුරස්ථ විය. අපට හැකි නම් අප ද නුඹලා සමඟ පිට වී එන්නට තිබුණි යැයි ඔවුහු අල්ලාහ් මත දිවුරා පවසති. ඔවුහු ඔවුන්වම විනාශ කර ගනිති. තවද සැබැවින්ම ඔවුහු මුසාවාදීහු බව අල්ලා දනී.
Verse 43
(නබිවරය !) අල්ලාහ් නුඹට සමාව දෙත්වා! සත්‍ය පැවසූවන් ගැන නුඹට පැහැදිලි වී මුසාවාදීන් පිළිබඳ නුඹ දැන ගන්නා තෙක් නුඹ ඔවුනට අවසර දුන්නේ ඇයි?
Verse 44
අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරන්නන් තම වස්තුව හා තම ජීවිතය කැප කිරීමෙන් (ඉවත් වීමට) ඔවුහු නුඹෙන් අවසර නොපතති. තවද අල්ලාහ් දේව බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නන් පිළිබඳ සර්ව ඥානීය.
Verse 45
(එසේ ඉවත් වීමට) නුඹෙන් අවසර පතනුයේ අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස නොකරන්නන්ය. ඔවුන්ගේ හදවත් සැක කළේය. එබැවින් ඔවුහු ඔවුන්ගේ සැකයෙහි පැකිළෙති.
Verse 46
තවද ඔවුන් පිටත් වීමට සිතුවේ නම් ඒ සඳහා සූදානමකින් සූදානම් වන්නට තිබුණි. එනමුත් ඔවුන් පිටත් ව යෑම අල්ලාහ් පිළිකුල් කළේය. එබැවින් ඔවුනට ඔහු මැළිකම ඇති කළේය. තවද වාඩි වී සිටින්නන් සමඟ නුඹලා ද වාඩි වී සිටිනු යැයි පවසනු ලැබීය.
Verse 47
ඔවුන් නුඹලා සමඟ පිටත් ව ගියේ නම් නුඹලාට නපුර මිස වෙන කිසිවක් වර්ධනය නොවන්නට තිබුණි. තවද නුඹලාට අර්බුද සොයා දෙමින් නුඹලා අතර (කේලාම්) කියන්නට තිබුණි. තවද ඔවුනට සවන් දෙන්නන් ද නුඹලා අතර වෙති. අපරාධකරුවන් පිළිබඳ අල්ලාහ් සර්ව ඥානීය.
Verse 48
මීට පෙර ද ඔවුහු අර්බුද සොයා ගත්තෝය. තවද (අවුල් සහගත) කරුණු නුඹ වෙතට හැරෙව්වෝය. අවසානයේ සත්‍යය පැමිණියේය. තවද ඔවුන් පිළිකුල් කරන්නන් ව සිටිය දී අල්ලාහ්ගේ නියෝගය ප්‍රත්‍යක්ෂ විය.
Verse 49
මට අවසර දෙනු. මා පරීක්ෂාවට ලක් නොකරනු යැයි පවසන්නන් ද ඔවුන් අතුරින් වූහ. දැන ගනු. ඔවුහු අර්බුදයෙහි වැටුණහ. තවද සැබැවින්ම නිරය දේව ප්‍රතික්ෂේපකයින් වටලන්නකි.
Verse 50
නුඹට යම් යහපතක් ඇති වන්නේ නම් එය ඔවුන් දුකට පත් කරයි. තවද නුඹට යම් අභාග්‍යයක් ඇති වන්නේ නම් අපි මීට පෙරම අපගේ විෂය අපි (සූදානම් කර) ගත්තෙමු යැයි පවසා ඔවුන් සතුටුවන්නන් ලෙසින් හැරී යති.
Verse 51
අල්ලාහ් අපහට නියම කළ දෑ හැර වෙනත් කිසිවක් අපට නොවන්නේමය. ඔහු අපගේ භාරකරුය. තවද දේව විශ්වාසවන්තයින් අල්ලාහ් වෙතම (සියල්ල) භාර කළ යුතු යැයි පවසනු
Verse 52
(ජය හෝ වීර මරණය යන) කුසල් දෙකින් එකක් හැර වෙනත් කිසිවක් අපහට නුඹලා බලාපොරොත්තු වන්නෙහු ද? නමුත් අල්ලාහ් ඔහු වෙතින් වූ දඬුවමකින් හෝ අපගේ අත් වලින් හෝ නුඹලා හසු කරනු ඇතැයි නුඹලා ගැන අපි බලාපොරොත්තුවෙන් සිටින්නෙමු. එබැවින් නියත වශයෙන්ම අප ද නුඹලා සමඟ බලාපොරොත්තුවෙන් සිටින්නන් වෙමු යැයි (නබිවරය) නුඹ පවසනු.
Verse 53
කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ නුඹලා වියදම් කරනු. නුඹලාගෙන් එය පිළිගනු නොලබනු ඇත. නියත වශයෙන්ම නුඹලා පාපතර පිරිසක් ලෙසින් සිටියෙහුය.
Verse 54
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ව ප්‍රතික්ෂේප කොට කම්මැළියන් ලෙසින් මිස සලාතයට නොපැමිණෙන (යහපත් දෑ සඳහා) අකමැත්තෙන් මිස වියදම් නොකරන හේතුවෙන් මිස ඔවුන්ගේ වියදම් කිරීම පිළි ගනු ලබන්නට (වෙන කිසිවක්) බාධා වූයේ නැත.
Verse 55
ඔවුන්ගේ වස්තුව හා ඔවුන්ගේ දරුවන් නුඹ ව මවිතයට පත් නොකළ යුතුය. අල්ලාහ් අපේක්ෂා කරනුයේ මෙලොව ජීවිතයේ දී ඒවා මගින් ඔවුනට දඬුවම් කිරීමට හා ඔවුන් ප්‍රතික්ෂේප කරන්නන් ව සිටියදී ඔවුන්ගේ ජීවිත බැහැර වී යාමටය.
Verse 56
නියත වශයෙන්ම තමන් නුඹලා අතුරින් වූවන් යැයි ඔවුහු අල්ලාහ් මත දිවුරා පවසති. නමුත් ඔවුහු නුඹලා අතුරින් නොවෙති. එනමුත් ඔවුන් (මරණයට) බිය වන පිරිසකි.
Verse 57
සැඟවෙන්නට තැනක් හෝ ගුහාවන් හෝ උමගක් හෝ ඔවුන් දුටුවේ නම් ඔවුහු ඒ වෙත වේගයෙන් පලා යනු ඇත.
Verse 58
දානයන් සම්බන්ධයෙන් නුඹට දොස් නගන අය ද ඔවුන් අතුරින් වෙති. එවිට ඔවුනට එයින් දෙනු ලැබුවේ නම් ඔවුහු තෘප්තිමත් වෙති. තවද ඔවුනට එයින් දෙනු නොලැබුවේ නම් එවිට ඔවුහු කෝප වෙති.
Verse 59
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ඔවුනට පිරිනැමූ දෑ ගැන සැබැවින්ම ඔවුන් තෘප්තියට පත්ව අල්ලාහ් අපට ප්‍රමාණවත්ය. අල්ලාහ් ඔහුගේ භාග්‍යය තුළින් ද ඔහුගේ දූතයාණන් ද අපට පිරිනමනු ඇත. නියත වශයෙන්ම අපි අල්ලාහ් වෙතම ආශා කරන්නන් වෙමු යැයි පැවසුවේ නම් (එය කෙතරම් අගනේ ද?)
Verse 60
අල්ලාහ්ගෙන් වූ නියමයක් වශයෙන් සදකාවන් (zසකාත්) හිමි විය යුත්තේ දිළින්දන්ට ද දුගියන්ට ද ඒ සම්බන්ධ ව කටයුතු කරන සේවා දායකයින්ට ද තම හදවත් (ඉස්ලාමය වෙත) නැඹුරු වූවන්ට ද වහලුන් නිදහස් කිරීමේ දී ද ණය ගැතියන්ට ද අල්ලාහ්ගේ මාර්ගයෙහි ද මගියන්ට ද වේ. තවද අල්ලාහ් සර්ව ඥානීය. සියුම් ඥානවන්තය.
Verse 61
මෙම නබිවරයාට පීඩා කරන්නන් ද ඔවුන් අතුරින් වෙති. ඔහු (සියල්ලන්ට ඇහුම්) කන්දෙන්නෙක් යැයි පවසති. ඔහු නුඹලාට යහපත ගෙන දෙන දෑට කන් දෙන්නෙකි. ඔහු අල්ලාහ් පිළිබඳ විශ්වාස කරනු ඇත. දේව විශ්වාසවන්තයින්ට විශ්වාසවන්ත ව කටයුතු කරනු ඇත. නුඹලා අතුරින් විශ්වාස කළවුනට ඔහු දයාවකි. යැයි (නබිවරය) නුඹ පවසනු. තවද අල්ලාහ්ගේ දූතයාණන්ට පීඩා කරන ඔවුනට වේදනීය දඬුවමක් ඇත.
Verse 62
ඔවුහු නුඹලා ව තෘප්තියට පත් කරනු පිණිස නුඹලා වෙත අල්ලාහ් මත දිවුරති. තවද ඔවුහු දේව විශ්වාසවන්තයින් ව සිටියෙහු නම් ඔවුහු ඔහු ව තෘප්තියට පත් කිරීමට වඩාත් සුදුස්සන් වනුයේ අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ය.
Verse 63
කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට පටහැණි ව කටයුතු කරන්නේ ද එවිට නියත වශයෙන්ම ඔහුට නිරා ගින්න හිමි බවත් ඔහු එහි සදාතනිකයකු වන බවත් ඔවුහු දැන සිටිය යුතු නොවේ ද? එය මහත් වූ අවමානයකි.
Verse 64
ඔවුන්ගේ හදවත් තුළ ඇති දෑ ඔවුනට දන්වන පරිච්ඡේදයක් ඔවුන් මත පහළ වීම ගැන කුහකයෝ බිය වෙති. නුඹලා සමච්චල් කරමින් සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා බිය වන දෑ හෙළි කරන්නාය.
Verse 65
තවද නුඹ (මේ ගැන) ඔවුන් ගෙන් විමසුවේ නම් ‘අපි (අනවශ්‍ය කතාවන්හි) නිරත වෙමින් ද කෙළිලොල් කරමින් ද සිටියෙමු යැයි ඔවුහු පවසති. නුඹලා සමච්චල් කරමින් සිටියේ අල්ලාහ් පිළිබඳ ව ද ඔහුගේ වදන් හා ඔහුගේ දූතයාණන් පිළිබඳ ව දැයි නුඹ අසනු.
Verse 66
නුඹලා නිදහසට කරුණු නොකියනු. නුඹලා විශ්වාස කිරීමෙන් පසු ව සැබැවින්ම ප්‍රතික්ෂේප කළෙහුය. නුඹලා අතුරින් පිරිසකට අපි සමාව පිරිනැමුව ද තවත් පිරිසකට දඬුවම් කරන්නෙමු. හේතුව ඔවුන් වැරදි කරන්නන් ලෙස සිටී බැවිනි.
Verse 67
කුහකයෝ හා කුහක කාන්තාවෝ ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුගෙන්ය. ඔවුහු පිළිකුල් සහගත දෑ නියෝග කරති. යහපත් දැයින් වළක්වති. (වියදම් නොකර) ඔවුන්ගේ අත් මිට මොළවා ගනිති. ඔවුහු අල්ලාහ් ව අමතක කළෝය. එබැවින් ඔහු ද ඔවුන් ව අමතක කර දැමීය. නියත වශයෙන්ම කුහකයින් වන ඔවුහුමය පාපතරයින් වන්නෝ.
Verse 68
කුහකයින් හා කුහක කාන්තාවන්ට ද දේව ප්‍රතික්ෂේපකයින්ට ද නිරා ගින්න සතු බව අල්ලාහ් ප්‍රතිඥා කළේය. ඔවුන් එහි සදාතනිකයෝ වෙති. එය ඔවුනට ප්‍රමාණවත්ය. තවද අල්ලාහ් ඔවුනට ශාප කළේය. තවද ඔවුනට ස්ථීර දඬුවමක් ද ඇත.
Verse 69
(මුනාෆික්වරුනි!) නුඹලාට පෙර සිටියවුන් මෙන් (නුඹලා නොවනු.) ඔවුහු නුඹලාට වඩා බලවත් වූහ. තවද ඔවුහු දරුවන්ගෙන් හා වස්තුවෙන් අධික වූහ. ඒ අනුව තමන්ට හිමි කොටස ඔවුහු භුක්ති වින්දෝය. නුඹලාට පෙර සිටියවුන් ඔවුන්ගේ කොටස භුක්ති වින්දාක් මෙන් නුඹලා ද නුඹලාට හිමි කොටස භුක්ති විදිනු. නමුත් ඔවුහු (බොරු කිරීමෙහි) නියැළුණාක් මෙන් නුඹලා ද නියැළෙන්නෙහුය. මෙලොවෙහි හා මතු ලොවෙහි තම ක්‍රියාවන් නිෂ්ඵල වී ගිය අය මොවුහුය. තවද අලාභවන්තයෝද මොහුවුමය.
Verse 70
ඔවුනට පෙර සිටි නූහ්, ආද් හා සමූද්ගේ ජනයාගේ ද ඉබ්‍රාහීම්ගේ ජනයා, මද්යන් වාසීහු හා උඩු යටිකුරු ව පෙරළා දෑමූවන්ගේ ද පුවත ඔවුන් වෙත නොපැමිණියේ ද? ඔවුන්ගේ දූතයෝ ඔවුන් වෙත පැහැදිලි සාධක සමඟ පැමිණියෝය. එබැවින් ඔවුනට අපරාධයක් කිරීම අල්ලාහ්ට නොවීය. නමුත් ඔවුහු තමන්ටම අපාරධ කර ගන්නන් වූහ.
Verse 71
(දේව) විශ්වාසවන්තයෝ හා දේව විශ්වාසවන්ත කාන්තාවෝ ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුගේ සමීප මිතුරන් වෙති. ඔවුහු යහපත් දේ නියෝග කරන අතර පිළිකුල් සහගත දෙයින් වළක්වති. සලාතය විධිමත් ලෙසින් ඉටු කරති. සකාත්ද පිරිනමති. තවද අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වෙති. අල්ලාහ් කරුණාව පෙන්වන අය මොවුහුය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව බලධාරීය. සියුම් ඥානය ඇත්තාය.
Verse 72
දේව විශ්වාසවන්තයින් හා දේව විශ්වාසවන්ත කාන්තාවන්හට පහළින් ගංගාවන් ගලා බස්නා (ස්වර්ග) උයන් ඇති බවට අල්ලාහ් ප්‍රතිඥා කළේය. ඔවුහු එහි සදාතනිකයින් වෙති. අද්න් (නම් සදාතනික ස්වර්ග) උයන්හි යහපත් වාසස්ථාන ඇත. තවද අල්ලාහ්ගේ පිළිගැනීම අතිමහත්ය. එයයි මහත් වූ ජයග්‍රහණය.
Verse 73
අහෝ නබිවරය! දේව ප්‍රතික්ෂේපකයින් හා කුහකයින් සමඟ නුඹ සටන් කරනු. ඔවුන් කෙරෙහි දැඩි ලෙස කටයුතු කරනු. ඔවුන්ගේ පිවිසුම් ස්ථානය නිරයයි. තවද (ඔවුන්) යොමු වන එම ස්ථානය නපුරු විය.
තමන් නොපැවසූ බවට අල්ලාහ් මත ඔවුහු දිවුරති. නමුත් ඔවුහු ප්‍රතික්ෂේපයේ වදන පැවසුවෝය. ඔවුහු ඉස්ලාමය පිළි ගත් පසු එය ප්‍රතික්ෂේප කළෝය. ඔවුනට නොලැබුණු දෑ පිළිබඳ උත්සාහ දැරූහ. තම භාග්‍යයෙන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ඔවුන් ව ධනවත් කිරීමේ හේතුව මිස ඔවුන් කෝප වීමට වෙනෙකක් නොවීය. ඔවුන් පශ්චාත්තාප වී යොමු වන්නේ නම් එය ඔවුනට යහපතක් වනු ඇත. නමුත් ඔවුන් පිටුපා යන්නේ නම් මෙලොවදී හා මතු ලොවදී අල්ලාහ් ඔවුනට වේදනීය දඬුවමකින් දඬුවම් කරනු ඇත. තවද මහපොළොවේ කිසිදු භාරකරුවකු හෝ උදව්කරුවකු හෝ ඔවුනට නොමැත.
Verse 75
ඔහුගේ භාග්‍යයෙන් ඔහු අපට පිරිනමා ඇත්නම් සැබැවින්ම අපි දන් දෙන්නෙමු. තවද සැබැවින් ම අපි දැහැමියන් අතුරින් වන්නෙමු යැයි අල්ලාහ් සමඟ ගිවිස ගත් අය ද ඔවුන් අතුරින් වෙති.
Verse 76
නමුත් ඔහු ඔවුනට ඔහුගේ භාග්‍යයෙන් පිරිනැමූ කල්හි ඔවුහු ඒ පිළිබඳ ව මසුරුකම් පෑහ. තවද ඔවුහු පිටුපාන්නන් ලෙසින් හැරී ගියෝය.
Verse 77
අල්ලාහ් වෙත කළ ප්‍රතිඥාව ඔවුන් කඩ කළ බැවින් ද ඔවුන් බොරු පවසමින් සිටි බැවින් ද ඔහු ව ඔවුන් හමු වන දිනය තෙක් ඔවුන්ගේ හදවත් තුළ පැවැති කුහකත්වය ඔවුන් ව අවසානය දක්වා තිබෙන්නට හැරියේය.
Verse 78
නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන්ගේ රහස්‍ය දෑ හා රහස් සාකච්ඡාවන් දන්නා බවත් තවද නියත වශයෙන්ම අල්ලාහ් ගුප්ත දෑ පිළිබඳ මැනවින් දන්නා බවත් ඔවුහු නොදැන සිටියෝද?
Verse 79
දේව විශ්වාසවන්තයින් අතුරින් දානයන් සම්බන්ධයෙහි සිය කැමැත්තෙන් පරිත්‍යාග කරන්නන්හට හා තම වෙහෙසට හැර වෙනත් කිසිවක් නොලබන්නන්හට ඔවුහු දොස් නගා ඔවුනට අවමන් කරති. අල්ලාහ් ඔවුන් අවමානයට ලක් කළේය. තවද ඔවුනට වේදනීය දඬුවමක් ඇත.
Verse 80
(නබිවරය) ඔවුන් වෙනුවෙන් නුඹ සමාව අයදිනු. නැතහොත් ඔවුන් වෙනුවෙන් සමාව අයැද නොසිටිනු. නුඹ ඔවුන් වෙනුවෙන් හැත්තෑ වාරයක් සමාව අයැද සිටිය ද අල්ලාහ් ඔවුනට සමාව නොදෙන්නේ මය. හේතුව සැබැවින්ම ඔවුන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ව ප්‍රතික්ෂේප කළ බැවිනි. තවද අල්ලාහ් පාපතර ජනයාට මඟ නොපෙන්වයි.
Verse 81
අල්ලාහ්ගේ දූතයාණන් (තබූක් මෙහෙයුමට) ගිය පසු ව තම ස්ථානයන්හිම පසුබැස (රැඳී) සිටියවුන් සතුටු වූහ. තම වස්තුව හා තම ජීවිත අල්ලාහ්ගේ මාර්ගයේ කැප කිරීමට ඔවුහු පිළිකුල් කළෝය. තවද නුඹලා ග්‍රීෂ්ම කාලයෙහි පිටත් ව නොයනු යැයි ඔවුහු පවසති. නිරා ගින්න උෂ්ණත්වයෙන් (ඊට වඩා) අධික යැයි නුඹ පවසනු. ඔවුහු (ඒ බව) අවබෝධ කර ගන්නේ නම් !
Verse 82
ඔවුන් උපයමින් සිටි දෑ හේතුවෙන් (ඊට) ප්‍රතිවිපාකයක් වශයෙන් ස්වල්පයක් සිනහසෙත්වා ! අධික ව අඬත්වා !
Verse 83
එහෙයින් (නබිවරය,) ඔවුන් අතුරින් පිරිසක් වෙත අල්ලාහ් නුඹ ව නැවත ගෙන්වූයේ නම් එවිට (යුද මෙහෙයුම් සඳහා) පිටත් ව යන්නට ඔබෙන් ඔවුහු අවසර පතති. ‘නුඹලා කිසි කලෙක මා සමඟ පිටත් ව නොයන්නෙහුමය. තවද නුඹලා මා සමඟ සතුරන්ට එරෙහි ව සටන් නොකරන්නෙහුය. නියත වශයෙන්ම නුඹලා මුල් වාරයේ වාඩි වී සිටීම ප්‍රිය කළෙහුය. එහෙයින් නුඹලා පසුබැස්සවුන් සමඟම රැඳී සිටිනු යැයි නුඹ පවසනු.
Verse 84
ඔවුන් අතුරින් මිය ගිය කිසිවකු කෙරෙහි කිසි කලෙක නුඹ සලාතය මෙහෙය නොවනු. තවද ඔහුගේ මිනී වළ අසල නුඹ නැගිට නොසිටිනු. නියත වශයෙන්ම ඔවුන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ව ප්‍රතික්ෂේප කළෝය. ඔවුහු පාපිෂ්ඨයින් ලෙස සිටිය දීම මිය ගියෝය.
Verse 85
ඔවුන්ගේ වස්තුව හා ඔවුන්ගේ දරුවන් නුඹ ව මවිතයට පත් නොකළ යුතුය. අල්ලාහ් එමගින් අපේක්ෂා කරනුයේ ඔවුනට මෙලොවෙහි දඬුවම් කිරීමටය. තවද ඔවුන් ප්‍රතික්ෂේපකයින් ව සිටි තත්ත්වයේම ඔවුන්ගේ ජීවිත නැසී යාමටය.
Verse 86
නුඹලා අල්ලාහ් ව විශ්වාස කරනු, තවද ඔහුගේ දූතයාණන් සමඟ එක් ව අරගල කරනු යැයි එක් පරිච්ඡේදයක් පහළ කරනු ලැබූ විට ඔවුන් අතුරින් වූ ධනතුවන් නුඹ අප අත හැර දමනු. අපි රැඳී සිටින්නන් සමඟ සිටින්නෙමු යැයි පවසා නුඹගෙන් අවසර පතති.
Verse 87
(නිවසේ) රැඳී සිටින කාන්තාවන් සමඟ ඔවුන් ද සිටින්නට ප්‍රිය කරති. තවද ඔවුන්ගේ හදවත් මත මුද්‍රා තබන ලදී. ඔවුහු වටහා නොගනිති.
Verse 88
එනමුත් මෙම දූතයාණන් හා ඔහු සමඟ විශ්වාස කළවුන් තම ධනය හා ජීවිත කැප කරමින් සටන් කළෝය. තමන් හට යහපත් දෑ ඇත්තවුන් මොවුහුමය. තවද ජය ලබන්නෝද මොවුහුමය.
Verse 89
ඔවුන් වෙනුවෙන් අල්ලාහ් ස්වර්ග උයන් සූදානම් කර ඇත. ඒවාට යටින් ගංගාවෝ ගලා බසිති. එහි ඔවුහු සදාතනිකයින් වෙති. අතිමහත් ජයග්‍රහණය එයයි.
Verse 90
(යුද්ධයට සහභාගී නොවන්නට) තමන්හට අවසර පතා ගම්බද ජනයා අතුරින් නිදහසට කරුණු පවසන්නන් පැමිණියෝය. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ට බොරු පැවසූවන් වාඩි වී සිටියෝ ය. ඔවුන් අතුරින් ප්‍රතික්ෂේප කළවුනට වේදනීය දඬුවමක් මතු ඇති වනු ඇත.
Verse 91
දුබලයින් කෙරෙහි ද රෝගීන් කෙරෙහි ද වියදම් කිරීමට යමක් නොලැබුණු අය කෙරෙහි ද ඔවුන් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට යහපත පතන්නේ නම් ඔවුනට කිසිදු වරදක් නැත. දැහැමියන්ට එරෙහිව කිසිදු ක්‍රියා මාර්ගයක් නොමැත. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය. කරුණා ගුණයෙන් යුක්තය.
Verse 92
(නබිවරය) නුඹ ඔවුනට ප්‍රවාහන පහසුකම් ලබා දෙනු පිණිස නුඹ වෙත ඔවුන් පැමිණ නුඹ ද නුඹලා ඒ මත ගමන් කිරීමට ප්‍රවාහන පහසුකම් ලබා දෙන යමක් මම නොලබමි. යැයි පවසා තමන් හට වියදම් කිරීමට යමක් නොලැබුණු හේතුවෙන් දුකට පත් ව තම ඇස් වලින් කඳුළු හළමින් හැරී ගිය අය කෙරෙහි ද වරදක් නොමැත.
Verse 93
ක්‍රියාමාර්ගය ගනු ලබනුයේ ඔවුන් පොහොසතුන් ව සිටිය දී (සටනට සහභාගී නොවන්නට) නුඹගෙන් අවසර පතන්නන් හටය. පසුබැස රැඳී සිටින කාන්තාවන් සමඟ ඔවුන් ද රැඳී සිටීමට ප්‍රිය කළෝය. අල්ලාහ් ඔවුන්ගේ හදවත් මත මුද්‍රා තැබුවේය. එබැවින් ඔවුහු (ඒ බව) නොදනිති.
Verse 94
නුඹලා ඔවුන් වෙත නැවත හැරී ආ විට නුඹලා වෙත පැමිණ ඔවුහු නිදහසට කරුණු දක්වති. ‘නුඹලා නිදහසට කරුණු නොදක්වනු. සැබැවින්ම අප නුඹලා ව විශ්වාස නොකරන්නෙමු. නුඹලාගේ පුවත් පිළිබඳ ව සැබැවින්ම අල්ලාහ් අපට දැන්වීය. තවද අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් නුඹලාගේ ක්‍රියාව නිරීක්ෂණය කරනු ඇත. පසු ව ගුප්ත දෑ හා දෘශ්‍යමාන දෑ පිළිබඳ දැනුමැත්තා වෙත නුඹලා ව යොමු කරනු ලැබේ. එවිට නුඹලා කරමින් සිටි දෑ පිළිබඳ ව නුඹලාට ඔහු දන්වයි’ යැයි නුඹ පවසනු.
Verse 95
නුඹලා ඔවුන් වෙත නැවත හැරී ආ විට නුඹලා ඔවුන් ගැන නොතකා හරිනු පිණිස ඔවුහු නුඹලා වෙත අල්ලාහ් මත දිවුරා (බොරු හේතු සාධක) පවසති. එබැවින් නුඹලා ද ඔවුන් ගැන නොසලකා හරිනු. නියත වශයෙන්ම ඔවුහු කිලිටිය. තවද ඔවුන් රැඳෙන ස්ථානය නිරය වේ. එය ඔවුන් උපයමින් සිටි දෑ සඳහා වූ ප්‍රතිවිපාකයක් වශයෙනි.
Verse 96
ඔවුන් ගැන නුඹලා තෘප්තියට පත් වනු පිණිස ඔවුහු නුඹලාට දිවුරා පවසති. නමුත් නුඹලා ඔවුන් ගැන තෘප්තිමත් වුව ද නියත වශයෙන්ම අල්ලාහ් පාපතර ජනයා ගැන තෘප්තියට පත් නොවෙයි.
Verse 97
ගම්බද අරාබිවරු දේව ප්‍රතික්ෂේපයෙන් හා කුහකත්වයෙන් ඉතා දරුණුය. අල්ලාහ් ඔහුගේ දූතයාණන් වෙත පහළ කළ දෑහි සීමාවන් ඔවුන් නොදැන සිටීම වඩාත් සුදුසුය. තවද අල්ලාහ් සර්වඥානීය. සියුම් ඥානය ඇත්තාය.
Verse 98
තවද ගම්බද අරාබිවරු අතුරින් තමන් වියදම් කරන දෑ අලාභහානියක් ලෙස ගන්නා අය ද සිටිති. නුඹලා වෙත විපත්තිය ඔහු අපේක්ෂා කරයි. ඔවුනටමය නපුරු විපත්තිය. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවකය. සර්ව ඥානීය.
Verse 99
තවද ගම්බද අරාබීන් අතුරින් අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන, තමන් වියදම් කරන දෑ අල්ලාහ් වෙත සමීපවීම් වශයෙන් හා ධර්ම දූතයාණන්ගේ ආශිර්වාදයන් වශයෙන් ගන්නා අය ද වෙති. දැන ගනු නියත වශයෙන්ම එය ඔවුනට සමීප කරවීමකි. අල්ලාහ් ඔහුගේ කරුණාව තුළට ඔවුන් ව ඇතුළත් කරයි. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. කරුණා ගුණයෙන් යුක්තය.
Verse 100
(මක්කාහ් වෙත නික්ම ගිය) මුහාජිර්වරුන් හා (ඔවුනට උපකාර කළ මදීනාවාසීන් වන) අන්සාර්වරු අතුරින් ආරම්භක පෙරටුගාමීහු ද තවද යහපත් ලෙසින් ඔවුන් ව පිළිපැද්දා වූ අය ද වන ඔවුන් ගැන අල්ලාහ් තෘප්තිමත් විය. තවද ඔවුහු ද ඔහු ගැන තෘප්තියට පත් වූහ. ඒවාට පහළින් ගංගාවන් ගලා බස්නා උයන් ඔවුනට ඇත. සදහටම ඔවුහු එහි සදාතනිකයින්ය. එයයි අතිමහත් ජයග්‍රහණය.
Verse 101
ගම්බද අරාබිවරුන් අතුරින් නුඹලා අවට විසූවන්ගෙන් කුහකයෝ ද වෙති. තවද මදීනා වාසීන්ගෙන් කුහකත්වයේ ස්ථාපිත වූවෝද වෙති. නුඹ ඔවුන් ගැන නොහඳුනන්නෙහිය. අපි ඔවුන් ගැන හඳුනන්නෙමු. මතුවට අපි ඔවුනට දෙවරක් දඬුවම් කරන්නෙමු. පසු ව අතිමහත් දඬුවමක් වෙතට ඔවුන් ව යොමු කරනු ලැබේ.
Verse 102
තම පාපකම් පිළිගත් වෙනත් අය ද වෙති. ඔවුහු දැහැමි ක්‍රියාවන් හා වෙනත් නපුරු ක්‍රියාවන් (එකට) මුසු කළෝය. (ඇතැම් විට) පශ්චාත්තාපය පිළිගෙන ඔවුන් වෙත සමාව දීමට අල්ලාහ්ට හැකිය. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. අසමසම කරුණා ගුණයෙන් යුක්තය.
Verse 103
ඔවුන්ගේ වස්තු වලින් ඔවුන් පිවිතුරු කරන ඔවුන් ව පාරිශුද්ධ කරන (සදකාවක්) දානයක් නුඹ ගනු. නියත වශයෙන්ම නුඹගේ පැතුම ඔවුනට සැනසුමකි. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවකය සර්වඥානීය.
Verse 104
නියත වශයෙන්ම අල්ලාහ් තම ගැත්තන්ගෙන් පශ්චාත්තාපය පිළිගන්නා බවත් දානයන් ගන්නා බවත් තවද නියත වශයෙන්ම අල්ලාහ් පශ්චාත්තාපය පිළිගන්නා කරුණා ගුණයෙන් යුක්ත බවත් ඔවුහු නොදන්නෝ ද?
Verse 105
‘නුඹලා ක්‍රියා කරනු. එවිට අල්ලාහ් ද ඔහුගේ ධර්මදූතයාණන් හා දේව විශ්වාසවන්තයින් ද නුඹලාගේ ක්‍රියාවන් දකිනු ඇත. තවද ගුප්තය හා ප්‍රදර්ශිතය දන්නා වෙත නුඹලා නැවත යොමු කරනු ලබනු ඇත. එවිට නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ නුඹලාට ඔහු දන්වනු ඇතැ’යි (නබිවරය !) නුඹ පවසනු.
Verse 106
තවද තවත් අය අල්ලාහ්ගේ නියෝගය අපේක්ෂා කරනු ලබන්නෝය. ඔවුනට ඔහු දඬුවම් කරයි. එසේ නැතහොත් පශ්චාත්තාපය පිළිගෙන ඔවුනට සමාව දෙයි. තවද අල්ලාහ් සර්වඥානීය. සියුම් ඥානය ඇත්තාය.
Verse 107
හිංසා කිරීමටත් දේව ප්‍රතික්ෂේපයටත් දේව විශ්වාසවන්තයින් අතර බෙදුම් ඇති කිරීමටත් මීට පෙර අල්ලාහ් හා ඔහුගේ දූතයා සමඟ සටන් කරන්නන්ට අපේක්ෂිත ස්ථානයක් ලෙසටත් දේවස්ථාන (ඉදි කර) ගත් ඔවුහු ‘අපි යහපත මිස වෙනෙකක් අපේක්ෂා නොකළෙමු’ යැයි දිවුරා පවසති. තවද නියත වශයෙන්ම ඔවුහු මුසාවාදීහු බව අල්ලාහ් සාක්ෂි දරයි.
Verse 108
කිසිවිටෙක එහි (නැමදුම්) ඉටු නොකරනු. නුඹ (නැමදුම්) ඉටු කිරීමට වඩාත් සුදුසු වනුයේ ආරම්භක දිනයේ දේව බිය හැඟීමෙන් යුතු ව ස්ථාපිත කරන ලද මස්ජිදයයි. තමන් පිරිසිදු වීමට ප්‍රිය කරන මිනිසුන් එහි වෙති. තවද අල්ලාහ් පිරිසිදුව සිටින්නන් ප්‍රිය කරයි.
Verse 109
වඩාත් ශ්‍රේෂ්ඨ වනුයේ අල්ලාහ් පිළිබඳ වූ බිය හැඟීමෙන් යුතු ව තෘප්තිය බලාපොරොත්තුවෙන් ගොඩනැගිල්ලක් ඉදි කරන්නා ද එසේ නැතහොත් ඒ සමඟම නිරා ගින්නට වැටුණු ගරා වැටෙන ඉවුරු තීරුවේ ගොඩනැගිල්ලක් ඉදි කරන්නා ද ? තවද අල්ලාහ් අපරාධකාරී ජනයාට මඟ නොපෙන්වයි.
Verse 110
ඔවුන් ඉදි කළා වූ ඔවුන්ගේ ගොඩනැගිල්ල ඔවුන්ගේ හදවත් කැබලි වන තෙක් ඔවුන්ගේ හදවත් තුළ සැකයෙන්ම පවතී. තවද අල්ලාහ් සර්වඥානීය. සියුම් ඥානය ඇත්තාය.
Verse 111
සැබැවින්ම ඔවුනට ස්වර්ගය ඇතැයි පවසා නියත වශයෙන්ම අල්ලාහ් දේව විශ්වාසවන්තයින්ගෙන් ඔවුන්ගේ ජීවිත හා ඔවුන්ගේ වස්තු මිලට ගත්තේය. ඔවුහු අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරති. එවිට (සතුරන්) නසා දමති. ඔවුන් ද නසනු ලබති. මෙය තව්රාතයේ ඉන්ජීලයේ හා අල්කුර්ආනයේ (සඳහන්) ඔහු වෙත හිමි වන සැබෑ පොරොන්දුවක් වශයෙනි. අල්ලාහ් වෙතින් වූ ඔහුගේ ගිවිසුම කවුරුන් පූර්ණ ව ඉටු කළේ ද එවිට නුඹලා කවර දෙයක් සම්බන්ධයෙන් ගනුදෙනු කළෙහු ද නුඹලාගේ එම ගනුදෙනු ව පිළිබඳ නුඹලා සතුටු වනු. තවද එයයි අති මහත් ජයග්‍රහණය වනුයේ.
Verse 112
(අල්ලාහ් වෙත) පශ්චාත්තාප වී යොමු වන, (ඔහුට) ගැතිකම් කරන, (ඔහුට) ප්‍රශංසා කරන, උපවාසය රකින, (නැමී) රුකූඃ කරන, (නළල බිම තබා) සුජූද් කරන, යහපත විධානය කරන, අයහපත් දැයින් වළක්වාලන තවද අල්ලාහ්ගේ සීමාවන් සුරක්ෂා කරන අය වෙති. තවද එවන් දේව විශ්වාසවන්තයින්ට නුඹ සුබාරංචි දන්වනු.
Verse 113
නියත වශයෙන්ම දේව ආදේශ තබන්නන් නිරා වාසීන් බව ඔවුනට පැහැදිලි වූවායින් පසු, ඔවුන් තමන්ගේ සමීප ඥාතීන් වුව ද ඔවුන් වෙනුවෙන් සමාව අයැද සිටීම නබිවරයාට හා දේව විශ්වාසවන්තයින්ට සුදුසු නොවීය.
Verse 114
ඉබ්රාහීම් තම පියා වෙනුවෙන් සමාව ඇයැදි සිටීම ඔහුට කළ පොරොන්දුවක් මිස (වෙනෙකක්) නොවීය. සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ සතුරකු බව ඔහුට පැහැදිලි වූ කල්හි ඔහු එයින් ඉවත් විය. නියත වශයෙන්ම ඉබ්රාහීම් කරුණාවන්ත වූ ඉවසිලිවන්තයෙකුය.
Verse 115
කිසියම් පිරිසකට ඔහු මඟ පෙන්වූ පසු, ඔවුන් වැළකිය යුතු දෑ (කුමක් දැයි) ඔවුනට පැහැදිලි කරන තෙක් ඔවුන් නොමඟ යැවීමට අල්ලාහ් නොවීය. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
Verse 116
අහස්හි හා මහපොළොවෙහි ආධිපත්‍යය නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහුටමය. ඔහු ප්‍රාණය දෙයි. තවද මරණයට පත් කරයි. තවද අල්ලාහ්ගෙන් තොර ව කිසිදු භාරකරුවකු හෝ උදව්කරුවකු හෝ නුඹලාට නොමැත.
Verse 117
නබිවරයාට, දුෂ්කර කාලයෙහි ඔහු ව අනුගමනය කළා වූ (මක්කාවෙන්) නික්ම ගියවුනට හා (නික්ම ගිය මක්කා වාසීන්ට) උදව් කළවුනට අල්ලාහ් පශ්චාත්තාපය පිළිගෙන සමාව දුන්නේය. ඔවුන් අතුරින් පිරිසකගේ හදවත් (වෙනතකට) නැඹුරුවන්නට තිබුණ ද, පසු ව ඔවුන් කෙරෙහි පශ්චාත්තාපය පිළිගෙන සමාව දුන්නේය. නියත වශයෙන්ම ඔහු ඔවුන් සම්බන්ධයෙන් සානුකම්පිතය. කරුණාවන්තය.
Verse 118
(යුද්ධයට නොගොස්) පසු බැස රැඳී සිටියා වූ තිදෙනාට ද (සමාව) විය. එය මහපොළොව විශාල ව තිබුණ ද එය ඔවුනට පටු වී ඔවුන්ගේ ආත්මා ද ඔවුනට බරක් වී අල්ලාහ් වෙත සරණ පතන තැනක් ඔහුගෙන් මිස නොමැති බවට ඔවුන් සිතන තෙක් විය. පසු ව ඔවුන් පශ්චාත්තාප වී යොමු වූ බැවින් ඔවුනට ඔහු පශ්චාත්තාපය පිළිගෙන සමාව දුන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් පශ්චාත්තාපය පිළිගෙන සමාව දෙන කරුණා ගුණයෙන් යුක්තය.
Verse 119
අහෝ විශ්වාස කළවුනි ! නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා සත්‍යවාදීන් සමඟ වනු.
මදීනාවාසීන්ට හා ඔවුන් අවට සිටි ගම්බද අරාබිවරුන්ගෙන් කිසිවකුට අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් ඉවත් ව පසුබැස රැඳී සිටීමට සුදුසු නොවීය. තවද ඔහුගේ ප්‍රාණයට වඩා ඔවුන්ගේ ප්‍රාණවලට ආශා කිරීම ද සුදුසු නොවීය. හේතුව එය අල්ලාහ්ගේ මාර්ගයේ (යුද වදින විට) පිපාසයක් හෝ දුර්භාග්‍යයක් හෝ කුසගින්නක් හෝ ඔවුනට අත්වුව ද ඔවුන් පය තබන තැන්හි දේව ප්‍රතික්ෂේපකයින් කෝප කරන අයුරින් පය තැබුව ද සතුරකුගෙන් යම් ප්‍රහාරයක් අත් වුව ද එය ඔවුනට දැහැමි ක්‍රියාවක් ලෙසින් මිස සටහන් කරනු නොලබන බැවිනි. නියත වශයෙන් අල්ලාහ් සදැහැමියන්ගේ ප්‍රතිඵල නිෂ්ඵල නොකරයි.
Verse 121
ඔවුන් කුඩා හෝ මහා වියදමක් හෝ වැය කළ ද තවද කවර මිටියාවතක් හෝ ඔවුන් තරණය කළ ද ඔවුන් කරමින් සිටින දෑට වඩා අලංකාර අයුරින් ඔවුනට ප්‍රතිඵල දෙනු පිණිස එය ඔවුනට සටහන් කරනු ලබන්නක් මිස නැත.
Verse 122
දේව විශ්වාසවන්තයින් සියල්ලෝම (යුද්ධය සඳහා) පිටත් වීම ඔවුනට සුදුසු නොවීය. දහම පිළිබඳ අවබෝධය ලබා ඔවුන්ගේ ජනයා ඔවුන් වෙත නැවත පැමිණි විට ඔවුනට අවවාද කරනු පිණිස සෑම කණ්ඩායමකින්ම පිරිසක් සිටිය යුතු නොවේ ද ! ඔවුන් ප්‍රවේශම් විය හැකි වනු පිණිස.
Verse 123
අහෝ විශ්වාස කළවුනි ! දේව ප්‍රතික්ෂේපකයින් අතුරින් නුඹලාට පර ව සිටින්නන් සමඟ නුඹලා සටන් වදිනු. නුඹලා තුළ (ඇති) දැඩිකම ඔවුන් දැක ගත යුතුය. තවද නියත වශයෙන්ම අල්ලාහ් දේව බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නන් සමඟ යැයි නුඹලා දැන ගනු.
Verse 124
පරිච්ඡේදයක් පහළ කරනු ලැබූ සෑම කලකම ‘මෙය විශ්වාසය වර්ධනය කළ කවරෙකු හෝ නුඹලා අතුරින් වෙත්දැ’යි ඔවුන් අතුරින් පවසන ඇතැමෙකු ද විය. නමුත් දේව විශ්වාසවන්තයින් වූ කලී එය ඔවුනට විශ්වාසය වර්ධනය කළේය. තවද ඔවුහු සතුටට පත් වූහ.
Verse 125
ඔවුන්ගේ හදවත් තුළ රෝගීභාවය ඇති අය වූ කලී, ඔවුනට එය ඔවුන්ගේ කිලිටි මත කිලිටි වර්ධනය කළේය. තවද ඔවුහු දේව ප්‍රතික්ෂේපකයින් ව සිටිය දී ඔවුහු මිය ගියෝය.
Verse 126
නියත වශයෙන්ම ඔවුන් සෑම වසරකම වරක් හෝ දෙවරක් හෝ පරීක්ෂාවට ලක් කරනු ලබන බව ඔවුහු නුදුටුවෝ ද? පසු ව ඔවුහු පශ්චාත්තාප වී සමාව නොඅයදිති. තවද ඔවුහු මෙනෙහි කරන්නන් ද නොවෙති.
Verse 127
තවද පරිච්ඡේදයක් පහළ කරනු ලැබූ සෑම කලකම කිසිවකු නුඹලා ව බලා සිටින්නේ දැයි (විමසනවාක් මෙන්) ඔවුන්ගෙන් ඇතමෙක් ඇතමෙකු දෙස බැලුවේය. පසු ව ඔවුහු හැරී ගියෝය. සැබැවින්ම ඔවුහු වටහා නොගන්නා පිරිසක් බැවින් ඔවුන්ගේ හදවත් ද අල්ලාහ් හරවා දැමීය.
Verse 128
නුඹලා අතුරින් වූ ධර්ම දූතයකු නුඹලා වෙත සැබැවින්ම පැමිණ ඇත. නුඹලා දුෂ්කරත්වයට පත්වීම ඔහු වෙත බැරූරැම්ය. ඔහු නුඹලා කෙරෙහි (නුඹලාගේ විශ්වාසය පිළිබඳ) සතුටු වන්නෙකි. දේව විශ්වාසවන්තයින් පිළිබඳ සෙනෙහෙවන්ත වූ මහා කාරුණිකය.
Verse 129
නමුත් ඔවුන් (නුඹට) පිටුපෑවේ නම් ‘මට අල්ලාහ් ප්‍රමාණවත්ය. ඔහු හැර නැමදුමට කිසිදු දෙවිඳෙකු නොමැත. ඔහු කෙරෙහි මම (සියල්ල) භාර කළෙමි. ඔහු අතිමහත් රාජධානියේ හිමිකරුය’ යැයි එවිට නුඹ පවසනු.
تقدم القراءة