ترجمة معاني سورة الحجرات باللغة السنهالية من كتاب الترجمة السنهالية
فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
ﰡ
آية رقم 1
අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ඉදිරියේ අබිබවා නොයනු. තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය. සර්ව ඥානීය.
آية رقم 2
අහෝ විශ්වාස කළවුනි! නුඹලාගේ හඬවල් නබිවරයාගේ හඬට වඩා වැඩි නොකරනු. නුඹලා ඇතැමෙකු ඇතැමෙකුට සැරෙන් කතා කරනවාක් මෙන් ඔහුට හඬා නගා සැරෙන් කතා නොකරනු. එවිට නුඹලා නොදැනුවත්වම නුඹලාගේ ක්‍රියාවන් නිෂ්ඵල වී යනු ඇත.
آية رقم 3
නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් අබියස ඔවුන්ගේ හඬ පහත් කරන්නන් වනාහි තම හදවත් බිය බැතිමත්භාවය සඳහා පරීක්ෂාවට ලක් කළවුන් ඔවුහුමය. ඔවුනට සමාව හා මහත් වූ ප්‍රතිඵල ඇත.
آية رقم 4
නියත වශයෙන්ම නවාතැන් වලට පසුපසින් සිට නුඹ ව අමතන්නන් වනාහි ඔවුන්ගෙන් බහුතරයක් දෙනා වටහා නොගනිති.
آية رقم 5
තවද නුඹ ඔවුන් වෙත (නිවසින්) බැහැර ව පැමිණෙන තෙක් නියත වශයෙන්ම ඔවුන් ඉවසා සිටියේ නම් එය ඔවුනට යහපත් වනු ඇත. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය. මහාකරුණාන්විතය.
آية رقم 6
අහෝ විශ්වාස කළවුනි! නුඹලා වෙත පාපියෙකු පුවතක් ගෙන ආවේ නම්, නොදැනුවත් ලෙසින් නුඹලා පිරිසකට හානියක් සිදු කොට පසු ව නුඹලා සිදු කළ දෑ ගැන පසුතැවිලිවන්නන් බවට පත් නොවනු පිණිස, නුඹලා (එය) පැහැදිලි කර ගනු.
آية رقم 7
තවද නියත වශයෙන්ම නුඹලා අතර අල්ලාහ්ගේ දූතයාණන් සිටින බව දැන ගනු. කරුණු බොහෝමයක ඔහු නුඹලාට අවනත වූයේ නම් නුඹලා පීඩාවට ගොදුරු වනු ඇත. එනමුත් නුඹලා වෙත අල්ලාහ් දේව විශ්වාසය පිළිබඳ කැමැත්ත ඇති කළේය. තවද එය නුඹලාගේ හදවත් තුළ අලංකාරවත් කළේය. තවද නුඹලා වෙත දේව ප්‍රතික්ෂේපය, පාපකම හා පිටුපෑම ඔහු පිළිකුල් කෙරෙව්වේය. යහමග සිටින්නෝ ඔවුහුමය.
آية رقم 8
(එය) අල්ලාහ්ගෙන් වූ අනුග්‍රහයක් හා ආශිර්වාදයක් වශයෙනි. තවද අල්ලාහ් සියුම් ඥානය ඇති සර්ව ඥානීය.
آية رقم 9
දේව විශ්වාසවන්තයින් අතුරින් දෙපිරිසක් සටන් ඇරඹුවේ නම්, ඒ දෙක අතර නුඹ සමාදානය ඇති කරනු. ඒ දෙපිරිසෙන් එකක් අනෙකා මත සීමාව ඉක්මවා කටයුතු කළේ නම් අල්ලාහ්ගේ නියෝගය වෙත නැඹුරු වන තෙක් සීමාව ඉක්මවා ගියවුන්ට එරෙහිව නුඹලා සටන් කරනු. නමුත් එය එකඟ වූයේ නම් ඒ දෙපිරිස අතර සාධාරණ ලෙසින් සමථය කරනු. තවද නුඹලා යුක්ති ගරුක ව කටයුතු කරනු. නියත වශයෙන්ම අල්ලාහ් යුක්තිගරුක ව කටයුතු කරන්නන් ප්‍රිය කරනු ඇත.
آية رقم 10
නියත වශයෙන්ම දේව විශ්වාසවන්තයෝ සහෝදරයෝය. එහෙයින් නුඹලාගේ (විවාද කරන) සහෝදරයින් අතර සමථය කරනු. තවද නුඹලා කරුණාව ලැබිය හැකි වනු පිණිස. අල්ලාහ්ට බිය බැතිමත් වනු.
آية رقم 11
අහෝ විශ්වාස කළවුනි! පිරිසක් තවත් පිරිසක් ගැන පරිහාසය නොකරනු. ඔවුන් මොවුනට වඩා යහපත් විය හැක. එමෙන්ම කාන්තාවෝ ද කාන්තාවන් ගැන පරිහාසය නොකරනු. ඔවුන් මොවුනට වඩා හොඳ විය හැක. තවද නුඹලා අපහාස නොකරනු. තවද පටබැඳි නම් වලින් නුඹලා එකිනෙකා ආමන්ත්‍රණය නොකරනු. දේව විශ්වාසයෙන් පසු ව එවන් පාපතර නාමයන් (පවසා ඇමතීම) නපුරුය. තවද කවරෙකු පාප සමාව අයැද නොසිටියේද එවිට ඔවුහුමය අපරාධකරුවෝ.
آية رقم 12
අහෝ විශ්වාස කළවුනි! අනුමානව සිතීම බොහෝමයකින් නුඹලා වැළකී සිටිනු. නියත වශයෙන්ම ඇතැම් අනුමාන කිරීම පාපයකි. තවද නුඹලා ඔත්තු නොසොයනු. තවද නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකු ගැන කේලාම් නොකිව යුතුය. නුඹලා අතුරින් කිසිවෙකු හෝ මිය ගිය තම සහෝදරයාගේ මාංශ අනුභව කිරීමට ප්‍රිය කරන්නේ ද? නමුත් නුඹලා එය පිළිකුල් කරන්නෙහුය. තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. නියත වශයෙන්ම අල්ලාහ් පශ්චාත්තාපය පිළිගන්නා මහා කරුණාන්විතය.
آية رقم 13
අහෝ මිනිසුනි! නියත වශයෙන්ම අපි පිරිමියකුගෙන් හා කාන්තාවකගෙන් නුඹලා ව මවා ඇත්තෙමු. තවද නුඹලා එකිනෙකා හඳුනා ගනු පිණිස ඔහු නුඹලා විවධ ජනවාර්ගිකයින් හා ගෝත්‍රිකයින් බවට පත් කළේය. නියත වශයෙන්ම අල්ලාහ් අබියස නුඹලාගෙන් වඩාත් උතුම් වනුයේ නුඹලා අතුරින් වඩාත් බියබැතිමත් වූවන්ය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානීය. අභිඥානවන්තය.
آية رقم 14
“අපි විශ්වාස කළෙමු” යැයි ගැමි අරාබිවරුන් පැවසූහ. “නුඹලා විශ්වාස නොකළේමය. නමුත් අපි අවනත වූයෙමු යැයි නුඹලා පවසනු. නුඹලාගේ සිත් තුළට දේව විශ්වාසය ඇතුළු වූයේ නැත. තවද නුඹලා අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වන්නෙහු නම් නුඹලාගේ ක්‍රියාවන්ගෙන් කිසිවක් ඔහු අඩු නොකරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. මහාකරුණාන්විතය.”
آية رقم 15
නියත වශයෙන්ම දේව විශ්වාසීන් වනුයේ අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ගැන විශ්වාස කොට පසු ව (ඒ ගැන) සැක නොකර තම ධනය හා තම ජීවිත අල්ලාහ්ගේ මාර්ගයේ කැප කළවුන් වෙති. ඔවුහුමය සත්‍යවාදීහු.
آية رقم 16
“නුඹලාගේ දහම නුඹලා අල්ලාහ්ට උගන්වන්නෙහු දැ”යි (නබිවරය) නුඹ විමසනු. තවද අල්ලාහ් අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ දනී. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්වඥය.
آية رقم 17
(නබිවරය,) ඔවුන් ඉස්ලාමය වැලඳ ගැනීම නුඹ වෙත කරන උපකාරයක් ලෙස ඔවුහු සලකති. “නුඹලා ඉස්ලාමය වැලඳ ගැනීම නුඹලා මා වෙත කරන උපකාරයක් ලෙස නොසලකනු. නමුත් නුඹලා (කළ ප්‍රකාශයේ) සත්‍යවාදීන් නම් (දැන ගනු) දේව විශ්වාසය වෙත නුඹලාට අල්ලාහ් මග පෙන්වීමෙන් නුඹලා වෙත උපකාර කර ඇතැ”යි නුඹ පවසනු.
آية رقم 18
නියත වශයෙන්ම අල්ලාහ් අහස්හි හා මහපොළොවේ ගුප්ත දෑ පිළිබඳ ව දනී. තවද නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව නිරීක්ෂකය.
تقدم القراءة