ترجمة معاني سورة الزمر باللغة السنهالية من كتاب الترجمة السنهالية
فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
آية رقم 1
ﭴﭵﭶﭷﭸﭹ
ﭺ
(මෙය) සර්ව බලධාරී මහා ප්‍රඥාවන්ත අල්ලාහ්ගෙන් වූ ග්‍රන්ථයේ පහළ කිරීමකි.
آية رقم 2
නියත වශයෙන්ම අපි ඔබ වෙත දේව ග්‍රන්ථය සත්‍යයෙන් යුතු ව පහළ කළෙමු. එහෙයින් ඔබ අවංක ලෙසින් අල්ලාහ්ට පමණක් දහම පුද කොට ඔහුට ගැතිකම් කරනු.
آية رقم 3
දැන ගනු! පිවිතුරු දහම අල්ලාහ් සතුය. තවද ඔහු හැර වෙනත් අය ආරක්ෂකයින් ලෙස ගත් අය ‘අල්ලාහ් වෙත අප සමීප කරවීමට මිස අපි ඔවුනට ගැතිකම් නොකළෙමු (යැයි පවසති). ඔවුන් කවර දෙයක් තුළ මතභේද ඇති කරගත්තේද ඒ පිළිබඳ ව අල්ලාහ් ඔවුන් අතර නියත වශයෙන්ම තීන්දු දෙනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් බොරුකාර ප්‍රතික්ෂේප කරන්නන්හට මග නොපෙන්වයි.
آية رقم 4
අල්ලාහ් දරුවකු ගැනීමට සිතුවේ නම් ඔහු අභිමත කළ අයුරින් ඔහු මවන දැයින්ම ඔහු තෝරා ගන්නට තිබුණි. ඔහු සුපිවිතුරුය. ඔහු මහා බලපරාක්‍රම ඒකීය වූ අල්ලාහ්ය.
آية رقم 5
සත්‍යයෙන් යුතු ව අහස් හා මහපොළොව ඔහු මැව්වේය. තවද ඔහු රාත්‍රිය දහවල මත හකුළුවන්නේය. තවද ඔහු දහවල රාත්‍රිය මත හකුළුවන්නේය. තවද හිරු හා සඳ ඔහු වසඟ කළේය. ඒ සියල්ල නියමිත කාලයක් දක්වා ගමන් කරනු ඇත. දැන ගනු සර්ව බලධාරී අතික්ෂමාශීලී ඔහුය.
آية رقم 6
එකම ආත්මයකින් ඔහු නුඹලා මැව්වේය. පසු ව එයින් එහි සහකාරිය ඇති කළේය. ගොවිපළ සතුන්ගෙන් ජෝඩු අටක් නුඹලාට පහළ කළේය. තුන් ආකාර අන්ධකාරයන් තුළ මැවීමකින් පසු මැවීමක් ලෙසින් නුඹලාගේ මව්වරුන්ගේ කුසවල් තුළ ඔහු නුඹලා මැව්වේය. එයයි නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්. සියලු ආධිපත්‍යයන් ඔහු සතුය. ඔහු හැර වෙනත් දෙවියෙකු නැත. එසේ නම් නුඹලා වෙනෙතකට යොමු කරනු ලබනුයේ කෙසේද?
آية رقم 7
නුඹලා (ගුණමකු ලෙස) ප්‍රතික්ෂේප කරන්නේ නම් එවිට (දැන ගනු,) නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා ගැන අවශ්‍යතාවන්ගෙන් තොරය. තම ගැත්තන් සඳහා (ගුණමකු ලෙස) ප්‍රතික්ෂේප කිරීම ඔහු ප්‍රිය නොකරයි. තවද නුඹලා කෘතවේදී වන්නේ නම් ඒ ගැන ඔහු නුඹලා කෙරෙහි තෘප්තියට පත් වෙයි. බර උසුලන්නෙකු වෙනත් අයගේ (පව්) බර නොඋසුලනු ඇත. පසු ව නුඹලා නැවත යොමු විය යුතු ස්ථානය ඇත්තේ නුඹලාගේ පරමාධිපති වෙතය. එවිට නුඹලා කරමින් සිටි දෑ පිළිබඳ ව ඔහු නුඹලාට දන්වයි. නියත වශයෙන්ම ඔහු හදවත් සතු දෑ පිළිබඳ ව මැනවින් දන්නාය.
آية رقم 8
තවද මිනිසාට යම් හානියක් ස්පර්ශ වූ විට ඔහු තම පරමාධිපති වෙත යොමු වී ඔහුට කන්නලව් කරයි. පසු ව ඔහුට ඔහුගෙන් වූ යම් අනුග්‍රහයක් පිරිනැමූ විට ඔහු මීට පෙර කවර දෙයක් වෙත කන්නලව් කරමින් සිටියේ ද එය අමතක කොට අල්ලාහ්ගේ මාර්ගයෙන් නොමග යවනු පිණිස ඔහුට සමානයන් තබයි. “ඔබ ඔබේ දේව ප්‍රතික්ෂේපය සමග ස්වල්ප කාලයක් භුක්ති විදිනු. නියත වශයෙන්ම ඔබ (නිරා)ගින්නේ සගයින් අතුරිනි” යැයි (නබි මුහම්මද්,) ඔබ පවසනු.
آية رقم 9
මතු ලොව පිළිබඳ බියෙන් හා තම පරමාධිපතිගේ ආශිර්වාදය අපේක්ෂාවෙන් රාත්‍රී හෝරාවන්හි (සලාතයේදී) සුජූද් කරන්නකු සේ ද නැගී සිටින්නෙකු සේ ද ගැතිකම් කිරීමට අවදි ව සිටින්නා (එසේ නොකරන්නෙකු මෙන්)ද? “දන්නා අය හා නොදන්නා අය සමාන වේවි” දැයි (නබි මුහම්මද්) ඔබ විමසනු. (මෙමගින්) උපදෙස් ලබනුයේ ප්‍රබුද්ධිමත් උදවියයි.
آية رقم 10
අහෝ දෙවියන් විශ්වාස කළාවූ මාගේ ගැත්තනි! නුඹලා නුඹලාගේ පරමාධිපතිට බිය බැතිමත් වනු. මෙලොව යහකම් කළවුනට යහපතය. අල්ලාහ්ගේ භූමිය විශාලය. ඉවසිලිවන්තයින්ට ඔවුන්ගේ ප්‍රතිඵල කිසිදු ගණනයකින් තොරවය පූර්ණ ලෙස පිරිනමනු ලබනුයේ.
آية رقم 11
“නියත වශයෙන්ම මා අල්ලාහ්ට අවංක ලෙසින් ඔහුට පමණක් දහම පුද කර නැමදීමට මා අණ කරනු ලැබුවෙමි” යැයි (නබි මුහම්මද්) ඔබ පවසනු.
آية رقم 12
ﭛﭜﭝﭞﭟ
ﭠ
තවද මුස්ලිම්වරුන්ගෙන් පළමුවැන්නා වීමට ද මම අණ කරනු ලැබුවෙමි
آية رقم 13
“මාගේ පරමාධිපතිට මම පිටුපෑවේ නම් මහත් වූ දිනයක දඬුවම ගැන මම බිය වෙමි” යැයි ඔබ පවසනු.
آية رقم 14
ﭫﭬﭭﭮﭯﭰ
ﭱ
“මාගේ යටහත්භාවය අල්ලාහ්ට අවංක ලෙසින් පුද කරමින් මම ඔහු නමදිමි” යැයි ඔබ පවසනු.
آية رقم 15
එහෙයින් නුඹලා ඔහු හැර නුඹලා අභිමත දෑට ගැතිකම් කරනු. (නබිවරය,) “නියත වශයෙන්ම පරාජිතයින් වනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තමන්ට හා තම පවුලට පාඩු ඇති කර ගත්තවුන්ය. දැන ගනු. එයයි ප්‍රකට පරාජය” යැයි පවසනු.
آية رقم 16
ඔවුනට ඉහළින් (නිරා) ගින්නෙන් වූ ආවරණයක් ද ඔවුනට පහළින් ආවරණයක් ද ඔවුනට ඇත. එය අල්ලාහ් එමගින් තම ගැත්තන් බිය ඇති කරයි.“අහෝ මාගේ ගැත්තනි! එහෙයින් නුඹලා මට බිය බැතිමත් වනු.” (යැයි තවදුරටත් පවසනු.)
آية رقم 17
නපුරු බලවේගයන්ගෙන් (ඉවත් ව) ඒවාට නැමදුම් කිරීමෙන් වැළකී අල්ලාහ් වෙත නැඹුරු වූවන් වනාහි ඔවුනටය ශුභාශිංසනය ඇත්තේ. එහෙයින් මාගේ ගැත්තන් හට ඔබ සුබාරංචි දන්වනු.
آية رقم 18
ප්‍රකාශයට සවන් දී එය වඩාත් අලංකාර අයුරින් අනුගමනය කරන්නන් වනාහි අල්ලාහ් ඔවුනට මග පෙන්වූ අය ඔවුහුමය. තවද ඔවුහුමය ප්‍රබුද්ධිමත් උදවිය වන්නෝ.
آية رقم 19
දඬුවමේ වදන තමන් වෙත නියම වූ අය (දඬුවමින් මුදවා ගනුයේ) කවුද? (නිරා) ගින්නෙහි සිටින්නන් ඔබ ආරක්ෂා කරන්නෙහි ද?
آية رقم 20
නමුත් තම පරමාධිපතිට බිය බැතිමත් වූ අය වනාහි ඔවුනට මන්දිර ඇත. ඒවාට ඉහළින් ඉදි කරන ලද මන්දිර ද ඇත. ඒවාට පහළින් ගංගාවෝ ගලා බසිති. (එය) අල්ලාහ්ගේ ප්‍රතිඥාවක් වශයෙනි. අල්ලාහ් එම ප්‍රතිඥාව කඩ නොකරයි.
آية رقم 21
නියත වශයෙන්ම අල්ලාහ් අහසින් ජලය පහළ කොට එය මහපොළොවේ උල්පත් අතර ගලා යන්නට සලස්වා එමගින් (විවිධ වර්ණවලින් යුත්) විවිධ වර්ගයේ බෝග හට ගන්වා පැහෙන්නට සලස්වයි. එවිට ඔබ එය රන්වන් පැහැයෙන් දකිනු ඇත. පසු ව එය ඉපැනැලි බවට පත් කරයි. නියත වශයෙන්ම එහි ප්‍රබුද්ධිමත් අයට උපදෙසක් ඇත.
آية رقم 22
කවරෙකුට අල්ලාහ් ඔහුගේ හදවත ඉස්ලාමය වෙත විවෘත කළේද ඔහු ඔහුගේ පරමාධිපතිගේ ආලෝකය මත වෙයි. අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් තම හදවත් රළුවූවන්ට විනාශය අත්වේවා! ඔවුහු පැහැදිලි නොමගෙහි වෙති.
آية رقم 23
තම පරමාධිපතිට බියවන්නන්ගේ හම් එමගින් කිළිපොළා යන, නැවත නැවතත් (යුගල වශයෙන්) ප්‍රකාශ වන එකිනෙකට සමාන අලංකාර කතාව ග්‍රන්ථයක් වශයෙන් ඔහු පහළ කළේය. පසු ව ඔවුන්ගේ හම් හා ඔවුන්ගේ හදවත් අල්ලාහ් මෙනෙහි කිරීම සඳහා මොළොක් වනු ඇත. එය අල්ලාහ්ගේ මග පෙන්වීමයි. ඔහු අභිමත කරන අයට එමගින් ඔහු මග පෙන්වනු ඇත. තවද අල්ලාහ් කවරෙකු නොමග යන්නට ඉඩ හැරියේද ඔහුට කිසිදු මග පෙන්වන්නකු නැත.
آية رقم 24
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නපුරු දඬුවමින් තම මුහුණ ආරක්ෂා කර ගන්නා කවුද?“නුඹලා උපයමින් සිටි දෑ නුඹලා භුක්ති විඳිනු” යැයි අපරාධකරුවන්ට කියනු ලැබේ.
آية رقم 25
ඔවුනට පෙර සිටියවුන් බොරු කළෝය. එහෙයින් ඔවුන් නොහඟමින් සිටියදී ඔවුන් වෙත දඬුවම පැමිණියේය.
آية رقم 26
එවිට මෙලොව ජීවිතයේ අවමානය අල්ලාහ් ඔවුනට විඳින්නට සැලැස්වීය. තවද මතු ලොව දඬුවම අතිමහත්ය. ඔවුහු දැන සිටියාහු නම් !
آية رقم 27
ඔවුන් උපදෙස් ලැබිය හැකි වනු පිණිස මෙම අල් කුර්ආනයේ සෑම උපමාවක්ම අපි ජනයාට ගෙන හැර දැක්වූයෙමු.
آية رقم 28
ඔවුන් බිය බැතිමත් විය හැකි වනු පිණිස කිසිදු ඇදයකින් තොර වූ අරාබි කියවීමක් වශයෙනි.
آية رقم 29
එකිනෙකා අතර ගැටුම් ඇති කරන්නා වූ හවුල්කරුවන් සතු වූ මිනිසෙක් හා එක් මිනිසෙකුට පමණක් යටහත් වූ මිනිසෙක් අල්ලාහ් උපමා වශයෙන් ගෙන හැර දැක්වීය. උපමාවෙන් ඔවුන් දෙදෙනා එක හා සමාන ද? සියලු ප්‍රශංසා අල්ලාහ්ටය. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නොදනිති.
آية رقم 30
ﰁﰂﰃﰄ
ﰅ
නියත වශයෙන්ම ඔබ මිය යන අයෙකි. එමෙන්ම නියත වශයෙන්ම ඔවුන් ද මිය යන අයවලුන් වෙති.
آية رقم 31
පසු ව නියත වශයෙන්ම නුඹලා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාගේ පරමාධිපති අබියස වාද කරන්නෙහුය.
آية رقم 32
අල්ලාහ් කෙරෙහි බොරු ගොතා, තමන් වෙත සත්‍යය පැමිණි විටත් එය බොරු කළ අයට වඩා මහා අපරාධකරු කවරෙකු ද? (දෙවියන් කෙරෙහි විශ්වාසය) ප්‍රතික්ෂේප කළවුනට නිරයේ නවාතැනක් නොවේ ද?
آية رقم 33
සත්‍යය රැගෙනැවිත් එය සත්‍යය කළ අය වනාහි, ඔවුහුමය බිය බැතිමතුන් වනුයේ.
آية رقم 34
ඔවුන් ප්‍රිය කරන දෑ ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුනට ඇත. එය දැහැමියන්ගේ ප්‍රතිඵලයයි.
آية رقم 35
ඔවුන් සිදු කළ දෑහි මහත් නපුර ඔවුන්ගෙන් ඉවත් කරනු පිණිස හා ඔවුන් සිදු කරමින් සිටි දෑට වඩාත් අලංකාර ලෙස ඔවුන්ගේ කුලිය ඔවුනට පිරිනමනු පිණිසය.
آية رقم 36
අල්ලාහ් තම ගැත්තාට ප්‍රමාණවත් අයකු නොවීද? තවද ඔවුහු ඔහුගෙන් තොර අන්අය ගෙනැවිත් ඔබ බිය ගන්වන්නෙහුය. තවද අල්ලාහ් කවරෙකු නොමග හරින්නේද එවිට ඔහුට කිසිදු මග පෙන්වන්නෙකු නොමැත.
آية رقم 37
තවද අල්ලාහ් කවරෙකුට මග පෙන්වන්නේ ද එවිට කිසිදු මුළාකරුවෙකු ඔහුට නොවනු ඇත. අල්ලාහ් සර්ව බලධාරී සමප්‍රතිචාර දක්වන්නා නොවේ ද?
آية رقم 38
අහස් හා මහපොළොව මැව්වේ කවුදැ?යි ඔබ ඔවුන්ගෙන් විමසුවේ නම් ඔවුහු “අල්ලාහ්” යැයි පවසති. පවසනු, “අල්ලාහ්ගෙන් තොර ව නුඹලා කන්නලව් කරන දෑ පිළිබඳ නුඹලා කුමක් සිතන්නෙහුද? - අල්ලාහ් මා වෙත යම් නපුරක් සිතුවේ නම් එම නපුර ඔවුන් ඉවත් කරන්නන් වෙත් ද? එසේ නැතහොත් අල්ලාහ් මා වෙත යම් ආශිර්වාදයක් සිතුවේ නම් ඔහුගේ ආශිර්වාදය ඔවුන් වළක්වන්නන් වෙත්ද? යැයි විමසනු. (නබිවරය) “අල්ලාහ් මා හට ප්‍රමාණවත්ය. විශ්වාස කරන්නන් ඔහු වෙත පමණක් විශ්වාස කරත්වා” යැයි පවසනු.
آية رقم 39
මාගේ ජනයිනි! නුඹලාගේ ස්ථාවරය මත සිට නුඹලා කටයුතු කරනු. නියත වශයෙන්ම මම ද කටයුතු කරමි. එහෙයින් නුඹලා මතු දැන ගනු ඇත. යැයි (නබි මුහම්මද්) ඔබ පවසනු.
آية رقم 40
තමන් අවමානයට පත් කරන දඬුවම කවුරුන් වෙත පැමිණෙන්නේ දැයි ද, ස්ථාවර දඬුවම කවුරුන් මත පහළ වන්නේ දැයි ද (ඔවුහු මතු දැන ගනු ඇත.)
آية رقم 41
නියත වශයෙන්ම අපි සත්‍යයෙන් යුතු ව දහම් ග්‍රන්ථය ජනයා සඳහා, ඔබ වෙත පහළ කළෙමු. එහෙයින් කවරෙකු (එමගින්) යහමග ලබන්නේ ද එය ඔහු වෙනුවෙන්මය. තවද කවරෙකු නොමග යන්නේ ද එසේ ඔහු නොමග යනුයේ ඔහුටම එරෙහිවමය. තවද ඔබ ඔවුන් කෙරෙහි භාරකරුවකු නොවේ.
آية رقم 42
ආත්මාවන් ඒවා මරණයට පත් වන මොහොතේ ද නින්දේදී මරණයට පත් නොවූ දෑ ද අත්පත් කර ගන්නේ අල්ලාහ්ය. කවර ආත්මයක් මත මරණය තීන්දු කළේද එය (ආපසු නොයවා) ඔහු රඳවා තබා ගනී. සෙසු දෑ නියම කරන ලද කාලයක් දක්වා ඔහු එවනු ඇත. වටහා ගන්නා ජනයාට නියත වශයෙන්ම එහි සංඥා ඇත.
آية رقم 43
එසේ නැතහොත් ඔවුහු අල්ලාහ්ගෙන් තොර ව මැදිහත්කරුවන් ගත්තෝ ද? “ඔවුන් කිසිවකට හිමිකම් නොදරමින් බුද්ධිමත් නොවන්නන් ලෙස සිටිය ද (ඔවුන් මැදිහත්කරුවන් ලෙස ගන්නෙහු ද)“ යැයි ඔබ පවසනු.
آية رقم 44
“සියලු මැදිහත්වීම් අල්ලාහ් සතුය. අහස් හා මහපොළොවේ ආධිපත්‍යය ඔහු සතුය. පසු ව නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙතය”. යැයි (නබි මුහම්මද්) ඔබ පවසනු.
آية رقم 45
අල්ලාහ් පමණක් මෙනෙහි කරනු ලැබූ විට මතු ලොව විශ්වාස නොකරන්නන්ගේ හදවත් පිළිකුල් කරති. ඔහුගෙන් තොරවූවන් මෙනෙහි කරනු ලබන විට එවිට ඔවුහු සතුටු වෙති.
آية رقم 46
ගුප්ත දෑ හා අදෘශ්‍යමාන දෑ ගැන දන්නා වූ අහස් හා මහපොළොවේ මැවුම්කරුවාණනි! ඔබේ ගැත්තන් කවර විෂයක් තුළ මතභේද ඇති කර ගනිමින් සිටියේ ද ඒ ගැන ඔවුන් අතර තීන්දු දෙනුයේ ඔබය යැයි (නබි මුහම්මද්) ඔබ පවසනු.
آية رقم 47
අපරාධ කළවුනට මහපොළොවේ ඇති සියල්ල ද ඒ සමගම ඒ හා සමාන ව තවත් තිබුණ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවමේ බිහිසුණුභාවයෙන් මිදීම සඳහා වන්දි වශයෙන් ඒවා දෙනු ඇත. ඔවුන් අපේක්ෂා නොකරමින් සිටී දෑ අල්ලාහ්ගෙන් ඔවුනට හෙළිවනු ඇත.
آية رقم 48
ඔවුන් උපයා ගත් දෑහි නපුරුකම් ඔවුනට හෙළිවනු ඇත. තවද ඔවුන් කවර දෙයක් පිළිබඳ ව සරදම් කරමින් සිටියේ ද එය ඔවුන් වටලා ගනු ඇත.
آية رقم 49
මිනිසාට යම් හානියක් ස්පර්ශ වූ විට ඔහු අපට කන්නලව් කරයි. පසු ව අපගෙන් වූ දයාවක් අපි ඔහුට පිරිනැමූ විට, “නියත වශයෙන්ම එය මට දෙනු ලැබුවේ (මාගේ) දැනුම අනුවය” යැයි පවසයි. නැත එය පරීක්ෂණයකි. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති.
آية رقم 50
සැබැවින්ම ඔවුනට පෙර සිටියවුන් ද එය පැවසුවේය. නමුත් ඔවුන් උපයමින් සිටි දෑ ඔවුනට ඵලක් නොවීය.
آية رقم 51
එහෙයින් ඔවුන් ඉපැයූ දෑහි නපුරු විපාකය ඔවුනට හට ගැණින. ඔවුන් අතුරින් අපරාධ කළවුන් ඔවුන් ඉපැයූ දෑහි නපුරු විපාක ඔවුනට මතු හට ගැනෙනු ඇත. තවද ඔවුහු (සත්‍යය) පරාජයට පත් කරන්නන් නොවෙති.
آية رقم 52
නියත වශයෙන්ම අල්ලාහ් තමන් අභිමත කරන අයට පෝෂණ සම්පත් ව්‍යාප්ත කර දෙන බවත් එමෙන්ම ඔහු එය සීමා කර දෙන බවත් ඔවුහු නොදන්නෝ ද? නියත වශයෙන්ම විශ්වාස කරන ජනයාට එහි සාධක ඇත.
آية رقم 53
අහෝ තමන් විසින් තමන් නසා ගත් මාගේ ගැත්තනි! අල්ලාහ්ගේ කරුණාව ගැන නුඹලා අපේක්ෂා රහිත නොවනු. නියත වශයෙන්ම අල්ලාහ් සියලු පාපයන්ට සමාව දෙනු ඇත. නියත වශයෙන්ම ඔහු අතික්ෂමාශීලීය. මහා කරුණාන්විතය.
آية رقم 54
තවද දඬුවම නුඹලා වෙත පැමිණීමට පෙර නුඹලා නුඹලාගේ පරමාධිපති වෙත නැඹුරු වනු. තවද ඔහුට යටහත් වනු. පසු ව නුඹලා උදව් කරනු නොලබන්නෙහුය.
آية رقم 55
නුඹලා නොහඟමින් සිටිය දී ක්‍ෂණික ව නුඹලා වෙත දඬුවම පැමිණීමට පෙර නුඹලාගේ පරමාධිති විසින් නුඹලා වෙත පහළ කරනු ලැබූ වඩාත් අලංකාර දෑ පිළිපදිනු.
آية رقم 56
අල්ලාහ් සම්බන්ධයෙන් මා වැරදි කර තිබීම හේතුවෙන් මට විනාශයයි. තවද නියත වශයෙන්ම මම සමච්චල් කරන්නන් අතුරින් වූයෙමි යැයි ඔබ පවසා සිටීමට පෙර
آية رقم 57
එසේ නැතහොත් නියත වශයෙන්ම අල්ලාහ් මට මග පෙන්වූයේ නම් මම බිය බැතිමතුන් අතුරින් වන්නට තිබුණි යැයි එය පවසා සිටීමට පෙර.
آية رقم 58
එසේ නැතහොත් එය දඬුවම දකින විට “මට තවත් වාරයක් වී නම් මම දැහැමියන් අතුරින් වෙමි” යැයි එය පවසා සිටීමට පෙර (නුඹලාගේ පරමාධිති විසින් නුඹලා වෙත පහළ කරනු ලැබූ වඩාත් අලංකාර දෑ පිළිපදිනු.)
آية رقم 59
“එසේ නොව, සැබැවින්ම මාගේ වදන් ඔබ වෙත පැමිණියේය. එවිට ඔබ ඒවා බොරු කළෙහිය. තවද ඔබ උඩඟු වූයෙහිය. තවද ඔබ ප්‍රතික්ෂේප කරන්නන් අතුරින් වූයෙහිය.”
آية رقم 60
තවද අල්ලාහ් කෙරෙහි බොරු පැවසූවන්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ මුහුණු කළු පැහැ ගැන්වී තිබීම ඔබ දකිනු ඇත. උඩඟු වූවන්ට නිරයේ නවාතැනක් නොවේද?
آية رقم 61
තවද බිය බැතිමත් වූවන් ඔවුන්ගේ ජයග්‍රහණයන් හේතුවෙන් අල්ලාහ් ඔවුන් මුදවා ගනු ඇත. ඔවුනට නපුර හට නොගනී. එමෙන්ම ඔවුහු දුකට පත් නොවෙති.
آية رقم 62
අල්ලාහ් සියලු දෑහි මැවුම්කරුය. තවද ඔහු සියලු දෑ කෙරෙහි භාරකරුය.
آية رقم 63
අහස් හා මහපොළොවේ යතුරු ඔහු සතුය. අල්ලාහ්ගේ වදන් ප්‍රතික්ෂේප කළ ඔවුහුමය පරාජිතයෝ.
آية رقم 64
“අහෝ අඥාන ජනයිනි! අල්ලාහ් නොවන දෑට මා ගැතිකම් කළ යුතු යැයි නුඹලා මට අණ කරන්නෙහු දැ” යි ඔබ විමසනු.
آية رقم 65
“ඔබ ආදේශ කළෙහි නම් ඔබගේ ක්‍රියා සැබැවින්ම නිෂ්ඵල වී යනු ඇත. තවද ඔබ පරාජිතයින් අතුරින් වනු ඇතැ”යි ඔබ වෙත හා ඔබට පෙර විසූවන් වෙත දේව පණිවිඩ එවනු ලැබීය.
آية رقم 66
ﯟﯠﯡﯢﯣﯤ
ﯥ
එසේය. ඔබ අල්ලාහ්ට ගැතිකම් කරනු. තවද ඔබ ගුණගරුකයින් අතුරින් වනු.
آية رقم 67
තවද අල්ලාහ් ව ප්‍රමාණ කළ යුතු නියම අයුරින් ඔවුහු ඔහු ප්‍රමාණ කොට නොසැලකූහ. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මහපොළොව මුළුමණින්ම ඔහුගේ ග්‍රහණයේ පවතී. තවද අහස් ඔහුගේ දකුණතෙහි ඔතනු ලැබ තිබේ. ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතරය. සුවිශුද්ධය.
آية رقم 68
සූර් (නම් හොරණෑවෙ)හි පිඹිනු ලැබේ. එවිට අල්ලාහ් අභිමත කළ අය හැර අහස් තුළ ඇති අය හා මහපොළොවෙහි ඇති අය මරණයට පත් වෙති. පසු ව එහි තවත් වාරයක් පිඹිනු ලැබේ. එවිට ඔවුහු නැගී සිටිමින් අවධානයෙන් බලා සිටිති.
آية رقم 69
මහපොළොව, එහි පරමාධිපතිගේ ආලෝකයෙන් උදා වෙයි. තවද ප්‍රගති ලේඛන තබනු ලැබේ. නබිවරුන් හා සාක්ෂිකරුවන් ගෙන එනු ලැබේ. ඔවුන් අතර සත්‍යයෙන් යුතු ව තීන්දු දෙනු ලැබේ. ඔවුනට අසාධාරණයක් සිදු කරනු නොලබති.
آية رقم 70
සෑම ආත්මයක්ම ඒවා සිදු කළ දෑට පූර්ණ ව (ප්‍රතිඵල) දෙනු ලැබේ. තවද ඔවුන් සිදු කරන දෑ පිළිබඳ ව ඔහු මැනවින් දන්නාය.
آية رقم 71
දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් නිරය වෙත කණ්ඩායම් වශයෙන් මෙහෙයවා ගෙන යනු ලැබේ. ඔවුහු ඒ දක්වා පැමිණි විට එහි දොරටු විවෘත කරනු ලැබේ. නුඹලා වෙත නුඹලාගේ පරමාධිපතිගේ වදන් පාරායනය කරන දහම් දූතවරුන් නුඹලා අතුරින් නුඹලා වෙත නොපැමිණියේ ද? තවද නුඹලාගේ මෙම දිනයේ හමුව පිළිබඳ නුඹලාට අවවාද නොකළේ දැ?යි එහි භාරකරුවන් ඔවුන්ගෙන් විමසනු ඇත. එසේය. යැයි ඔවුහු පවසති. එනමුත් දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් වෙත දඬුවමේ ප්‍රකාශය නියම විය.
آية رقم 72
නුඹලා එහි සදාතනිකයින් ලෙසින් නිරයේ දොරටු වලින් ඇතුළු වනු. උඩඟුවූවන්ගේ නවාතැන නපුරු විය.
آية رقم 73
තම පරමාධිපතිට බිය බැතිමත් වූවන් ස්වර්ගය වෙත කණ්ඩායම් වශයෙන් මෙහෙයවා ගෙන යනු ලැබේ. ඔවුහු ඒ දක්වා පැමිණි විට එහි දොරටු විවෘත කරනු ලැබේ. “නුඹලාට සලාම් (ශාන්තියයි.) නුඹලා යහපත් අයුරින් කටුයුතු කර ඇත. එහෙයින් සදාතනිකයින් ලෙසින් එහි නුඹලා පිවිසෙනු.” යැයි එහි භාරකරුවන් ඔවුනට පවසනු ඇත.
آية رقم 74
“තම පොරොන්දුව අපට සැබෑ කළ, තවද මහපොළො ව අපට උරුමකර දුන් අල්ලාහ්ටම සියලු ප්‍රශංසා. අපි කැමති පරිදි ස්වර්ගයේ වාසය කරන්නෙමු” යැයි ඔවුහු පවසනු ඇත. එහෙයින් ක්‍රියාකාරීන්ගේ ප්‍රතිඵල යහපත් විය.
آية رقم 75
තවද අර්ෂ් අවට පිරිවරාගෙන තම පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් ඔහු ව පිවිතුරු කරමින් සිටින මලක්වරුන් ඔබ දකිනු ඇත. ඔවුන් අතර සත්‍යයෙන් යුතු ව තීන්දු දෙනු ලැබේ. සකල ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා යැයි පවසනු ලැබේ.
تقدم القراءة