ترجمة معاني سورة المائدة باللغة السنهالية من كتاب الترجمة السنهالية
فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
آية رقم 1
අහෝ ! විශ්වාස කළවුනි, නුඹලා ගිවිසුම් පූර්ණ ව ඉටු කරනු. නුඹලාට කියවා පෙන්වනු ලැබූ දෑ හැර සෙසු ගොවිපළ සතුන් නුඹලාට (ආහාරය සඳහා) අනුමත කරන ලදී. නමුත් නුඹලා ඉහ්රාම් තත්ත්වයේ සිටියදී දඬයම් කිරීම අනුමත කර නොගත යුතුය. සැබැවින්ම ඔහු සිතන දෑ අල්ලාහ් තීන්දු කරයි.
අහෝ ! විශ්වාස කළවුනි, අල්ලාහ්ගේ සලකුණු වලට හෝ පිවිතුරු පාරිශුද්ධ මාස වලට හෝ (කැප කිරීම් වෙනුවෙන්) වෙන් කළ සතුන්ට හෝ (ඒ සඳහා සලකුණු ලෙස) ගෙලමාල පැලැන්ඳ වූ සතුන්ට හෝ තම පරමාධිපතිගේ භාග්‍යය හා තෘප්තිය අපේක්ෂාවෙන් පිවිතුරු (ඔහුගේ) නිවසට අභය දායී ව පැමිණෙන්නන්ට හෝ (හිරි හැර හා අවතක්සේරු කිරීම) නුඹලා අනුමත කර නොගනු.තවද නුඹලා ඉහ්රාමය ඉවත් කර දැමුවේ නම් එවිට නුඹලා දඩයම් කර ගනු. මස්ජිදුල් හරාමයෙන් නුඹලා ව වැළැක් වූ පිරිසකගේ ක්‍රෝධය නුඹලා (ඔවුන් වෙත) සීමාව ඉක්මවා කටයුතු කිරීමට නුඹලා ව පෙලඹවිය නොයුතුය. තවද යහපතට හා බිය බැතිමත්කමට නුඹලා එකිනෙකා උදව් කර ගනු. පාපයට හා සතුරුකමට නුඹලා එකිනෙකා උදව් නොකරනු. තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. සැබැවින්ම අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩිය.
මළ සතුන් රුධිරය ශූකර මාංශ අල්ලාහ් නොවන දෑ සඳහා බිලි දෙනු ලැබූ දෑ ගෙල මිරිකනු ලැබ මිය ගිය දෑ පහර දෙනු ලැබ මිය ගිය දෑ වැටී මිය ගිය දෑ ඇණ මිය ගිය දෑ මෘග සතුන් කා දැමූ දෑ - නුඹලා (ඉන්පසුව) එය විධිමත් ලෙස කැපුවේ නම් හැර. (එවිට ආහාරය සඳහා ගත හැක.) - තවද පිළිම සඳහා කැපූ දෑ ඊතල් මඟින් නුඹලා පේන කීම නුඹලාට තහනම් කරන ලදී. මේවා වැරදි සහගතය. ප්‍රතික්ෂේප කළවුන් නුඹලාගේ දහමින් (එය විනාශ කළ හැකිය යන අදහසින්) අද දින අපේක්ෂා භංග විය. එබැවින් ඔවුනට නුඹලා බිය නොවනු. තවද මට ම බිය වනු. අද දින නුඹලාට නුඹලාගේ දහම මම සම්පූර්ණ කළෙමි. නුඹලා කෙරෙහි වූ මාගේ ආශිර්වාදය ද පූර්ණවත් කළෙමි. නුඹලා වෙනුවෙන් දහම ලෙස ඉස්ලාමය මම පිළිගතිමි. එබැවින් පාපයට නැඹුරු නොවී, දුගී බව හේතුවෙන් (මේවා ආහාරයට ගන්නා මෙන්) බල කරනු ලැබුණේ නම්, එවිට (දැන ගනු) සැබැවින්ම අල්ලාහ් අතික්ෂමාශීලී අසමසම කරුණාන්විතය.
آية رقم 4
තමන්ට අනුමත කරනු ලැබුවේ කුමක් දැ යි ඔවුහු නුඹගෙන් විමසති. (නබිවරය !) යහපත් දෑ ද දඩයම් සතුන් අතුරින් නුඹලා උගන්වා ඉන් පුහුණුව ලැබූ සතුන් දඩයම් කළ දෑ ද නුඹලාට අනුමත කරන ලදී. අල්ලාහ් නුඹලාට ඉගැන් වූ දැයින් නුඹලා උන්ට උගන්වන්නෙහුය. එබැවින් නුඹලා වෙත උන් ගොදුරු කර ගෙන එන දෑ නුඹලා අනුභව කරනු. තවද අල්ලාහ්ගේ නාමය කියනු. තවද අල්ලාහ්ට බිය බැතිමත් වනු. සැබැවින්ම අල්ලාහ් විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත්ය.
آية رقم 5
අද දින යහපත් දෑ නුඹලාට අනුමත කරන ලදී. දේව ග්‍රන්ථය දෙනු ලැබූ අයගේ ආහාර නුඹලාට අනුමතය. නුඹලාගේ ආහාර ද ඔවුනට අනුමතය. දේව විශ්වාසවන්තනියන් අතුරින් පතිවත රකින කාන්තාවන් ද නුඹලාට පෙර දේව ග්‍රන්ථය දෙනු ලැබූවන් අතුරින් පතිවත රකින කාන්තාවන් ද නුඹලා ඔවුනට දිය යුතු ඔවුන්ගේ (මහර් හෙවත්) කුලිය පිරිනමා අනියම් බිරියන් ලෙස හෝ ගණිකාවන් ලෙස හෝ නොගෙන, විවාහකයින් ලෙස ගැනීමට අනුමැතිය ඇත. කවරෙකු (දෙවියන් පිළිබඳව වූ) විශ්වාසය ප්‍රතික්ෂේප කරන්නේ ද සැබැවින්ම ඔහුගේ ක්‍රියාවන් නිෂ්ඵල විය. මතු ලොවෙහි ඔහු අලාභවන්තයින් අතුරිනි.
අහෝ විශ්වාස කළවුනි ! නුඹලා සලාතයට සූදානම් වූ විට නුඹලාගේ මුහුණු ද නුඹලාගේ අත් මැණික් කටුව දක්වා ද සෝදා ගනු. තවද නුඹලාගේ හිස් (ජලයෙන්) පිරිමදිනු. තවද නුඹලාගේ පාද ද වළලු කර දක්වා සෝදා ගනු. නුඹලා ස්නානය අනිවාර්යය වූ කෙනෙකු ව සිටින්නෙහු නම් (ස්නානය කොට) පිරිසුදු කර ගනිවු. නමුත් නුඹලා රෝගී ව හෝ යම් ගමනක නිරත ව සිටියෙහු නම් හෝ නුඹලා අතුරින් කිසිවකු මළමූත්‍රා පහකොට පැමිණියේ නම් හෝ නුඹලා (නුඹලාගේ) බිරියන් (ලිංගික ව) ස්පර්ශ කළෙහු නම් තවද නුඹලා ජලය නොලැබුවෙහු නම් පිරිසිදු පසින් නුඹලාගේ මුහුණුද නුඹලාගේ අත් ද පිරිමදිනු. නුඹලාට කිසිදු දුෂ්කරතාවක් ඇති කිරීමට අල්ලාහ් අපේක්ෂා නොකරයි. නමුත් නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස නුඹලා ව පිරිසිදු කිරීමටත් ඔහුගේ ආශිර්වාදයන් නුඹලා කෙරෙහි පූර්ණවත් කිරීමටත් අපේක්ෂා කරයි.
آية رقم 7
නුඹලා කෙරෙහි වූ අල්ලාහ්ගේ ආශිර්වාදයන් ද නුඹලාට කවර දෙයක් ප්‍රතිඥා කළේ ද ඔහුගේ එම ප්‍රතිඥාව ද අපි සවන් දුනිමු. අවනත වූයෙමු යැයි නුඹලා පැවසු අවස්ථාව ද මෙනෙහි කරනු. තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. සැබැවින්ම අල්ලාහ් හදවත් තුළ ඇති දෑ පිළිබඳ ව සර්වඥානීය.
آية رقم 8
අහෝ විශ්වාස කළවුනි ! නුඹලා අල්ලාහ් වෙනුවෙන් යුක්ති ගරුක ව සාක්ෂි දෙන්නන් වශයෙන් නැගී සිටිනු. එක් පිරිසකගේ ක්‍රෝධය නුඹලා අයුක්ති සහගත ව කටයුතු කිරීමට නුඹලා ව නොපොලොඹ විය යුතුය. තවද නුඹලා යුක්ති ගරුකව කටයුතු කරනු. එය බිය බැතිමත් භාවයට වඩා සමීපය. තවද නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. සැබැවින්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ අභිඥානවන්තය.
آية رقم 9
තමන් හට සමාව ද මහත් වූ ප්‍රතිඵල ද ඇතැයි විශ්වාස කොට යහකම් කළවුනට අල්ලාහ් පොරොන්දු විය.
آية رقم 10
තවද ප්‍රතික්ෂේප කොට අපගේ වදන් අසත්‍ය කළවුන් වන ඔවුහුමය නිරයේ සගයෝ වන්නෝ.
آية رقم 11
අහෝ විශ්වාසකළවුනි ! පිරිසක් ඔවුන්ගේ අත් නුඹලාට එරෙහි ව දිගු කරන්නට සිතූ විට නුඹලා කෙරෙහි වූ අල්ලාහ්ගේ ආශිර්වාදයන් මෙනෙහි කරනු. ඔහු ඔවුන්ගේ අත් නුඹලාගෙන් වළක්වාලීය. තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද විශ්වාසවන්තයින් අල්ලාහ් කෙරෙහිම (සියල්ල) භාර කළ යුතුය.
آية رقم 12
සැබැවින්ම අල්ලාහ් ඉස්රාඊල් දරුවන්ගෙන් ප්‍රතිඥාවක් ගත්තේය. තවද ඔවුන් අතුරින් භාරකරුවන් දොළොස් දෙනෙක් අපි එව්වෙමු. නුඹලා සලාතය විධිමත් ව ඉටු කර zසකාතය ද පිරිනමා මාගේ රසූල්වරුන්ව විශ්වාස කොට ඔවුනට උපකාර කර තවද අලංකාර අයුරින් අල්ලාහ්ට ණය ලබා දුන්නේ නම් සැබැවින්ම මම නුඹලා සමඟය. නුඹලාගේ පාපයන් නුඹලාගෙන් මම පහ කරමි. යටින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන් වලට නුඹලා ව ඇතුළත් කරමි යැයි අල්ලාහ් පැවසුවේය. මින් පසුව නුඹලා අතුරින් කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද සැබැවින්ම ඔහු නිවැරදි මාර්ගයෙන් මුළා විය.
آية رقم 13
ඔවුන් ඔවුන්ගේ ප්‍රතිඥාව කඩ කළ හේතුවෙන් අපි ඔවුනට ශාප කළෙමු. තවද ඔවුන්ගේ හදවත් දැඩි (හදවත්) බවට පත් කළෙමු. ඔවුහු එම වදන් එහි නියමිත ස්ථානයෙන් වෙනස් කරති. ඔවුනට කවර දෙයක් සම්බන්ධයෙන් උපදෙස් දෙනු ලැබුවේ ද ඉන් කොටසක් ඔවුහු අමතක කළෝය. ඔවුන්ගෙන් ස්වල්ප දෙනෙකු හැරෙන්නට ඔවුන් අතුරින් වැඩි දෙනා කුමක් හෝ (නව) කුමන්ත්‍රණයක සිටිනු නුඹ දකින්නෙහුමය. එබැවින් ඔවුන් ව අත හැර දමා ඔවුන් ව නොසලකා හරිනු. සැබැවින්ම අල්ලාහ් දැහැමියන් ව ප්‍රිය කරයි.
آية رقم 14
තවද සැබැවින්ම අපි කිතුනුවන් වෙමු යැයි පැවසූ අය අතුරින් ද ඔවුන්ගේ ප්‍රතිඥාව ගතිමු. නමුත් ඔවුනට කවර දෙයක් උපදෙස් දෙනු ලැබුවේ ද එයින් කොටසක් ඔවුහු ද අමතක කළෝය. එබැවින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින දක්වා අපි ඔවුන් අතර සතුරුකම හා ක්‍රෝධය හෙළුවෙමු. තවද ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳ ව අල්ලාහ් ඔවුනට මතු දන්වනු ඇත.
آية رقم 15
අහෝ දේව ග්‍රන්ථ හිමියනි ! දේව ග්‍රන්ථයෙන් නුඹලා සඟවමින් සිටි දැයින් බොහෝමයක් නුඹලාට ඔහු පැහැදිලි කරන අපගේ රසූල්වරයා සැබැවින්ම නුඹලා වෙත පැමිණ ඇත. ඔහු බොහෝ දේවල් නොසලකා හරිනු ඇත. සැබැවින්ම අල්ලාහ්ගෙන් වූ ආලෝකයක් ද පැහැදිලි දේව ග්‍රන්ථයක් ද නුඹලා වෙත පැමිණි ඇත.
آية رقم 16
ඔහුගේ තෘප්තිය අනුගමනය කළවුන් හට එමගින් ඔහු ශාන්තියේ මාවත් දෙසට මඟ පෙන්වනු ඇත. ඔහුගේ අනුහසින් අන්ධකාරයන්ගෙන් ආලෝකය වෙත ඔවුන් ව ඔහු බැහැර කරනු ඇත. තවද ඍජු මාර්ගය වෙත ඔහු ඔවුන්ට මඟ පෙන්වනු ඇත.
آية رقم 17
සැබැවින්ම අල්ලාහ් වනුයේ මර්යම්ගේ පුත් මසීහ්ම යැයි පැවසූ අය ප්‍රතික්ෂේප කළෝය. මර්යම්ගේ පුත් මසීහ් ද ඔහුගේ මව ද මිහිතලයේ සිටින සියල්ලන් ද විනාශ කිරීමට අල්ලාහ් සිතුවේ නම් ඔහුගෙන් කිසිවකින් (ආරක්ෂා කිරීමට) ආධිපත්‍යය දරනුයේ කවරෙකු ද? අහස්හි හා මිහිතලයේ ද ඒ දෙක අතර ඇති දෑහි ද ආධිපත්‍යය අල්ලාහ් සතුය. ඔහු සිතන දෑ මවන්නේය. තවද සියලු දෑ කෙරෙහි අල්ලාහ් ශක්තිවන්තය.
آية رقم 18
යුදෙව්වෝ හා කිතුනුවෝ තමන් අල්ලාහ්ගේ දරුවන් බවත් ඔහුගේ සෙනෙහෙවන්තයින් බවත් පවසති. එසේ නම් නුඹලාගේ පාපයන්ට නුඹලාට ඔහු දඬුවම් කරනුයේ ඇයි ? එසේ නොව නුඹලා ඔහු මැවූ අය අතුරින් වූ මිනිසුන්ය. ඔහුට අභිමත අයට සමාව දෙයි. ඔහුට අභිමත අයට දඬුවම් කරයි. තවද අහස්හි හා මිහිතලයේ ද ඒ දෙක අතර ඇති දෑහි ද ආධිපත්‍යය අල්ලාහ් සතුය. තවද නැවත යොමු වීම ඔහු වෙතමය.
آية رقم 19
අහෝ දේව ග්‍රන්ථ ලත් ජනයිනි ! (ඊසාට පසු) ධර්ම දූතයින් නොපැමිණි කාලයේ අප වෙත ශුභාරංචි පවසන්නෙකු හෝ අවවාද කරන්නෙකු හෝ නොපැමිණියේ යැයි නුඹලා නොපවසනු වස් (දැන්) නුඹලාට පැහැදිලි කර දෙන අපගේ රසූල්වරයා නුඹලා වෙත පැමිණ ඇත. දැන් ශුභාරංචි පවසන්නෙකු හා අවවාද කරන්නෙකු නුඹලා වෙත පැමිණ ඇත. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය.
آية رقم 20
අහෝ මාගේ ජනයිනි ! නුඹලා වෙත වූ අල්ලාහ්ගේ ආශිර්වාදය සිහිපත් කරනු. එවිට ඔහු නුඹලා අතර නබිවරුන් පත් කළේය. නුඹලා ව රජවරුන් බවට පත් කළේය. ලෝවැසියන් අතුරින් කිසිවකුට නොදුන් දෑ නුඹලාට ඔහු පිරිනැමුවේය යැයි මූසා තම ජනයාට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
آية رقم 21
අහෝ මාගේ ජනයිනි ! නුඹලාට අල්ලාහ් නියම කළ පාරිශුද්ධ භූමියට පිවිසෙනු. නුඹලාගේ පිටුපස හැරී නුඹලා පෙරළා නොයනු. එවිට නුඹලා අලාභවන්තයින් ලෙස හැරී යනු ඇත.
آية رقم 22
(එයට) අහෝ මූසා ! නියත වශයෙන්ම එහි බලවත් පිරිසක් වෙති. ඔවුහු එයින් බැහැරවන තෙක් අපි එහි නොපිවිසෙන්නෙමු. එසේ ඔවුන් එයින් බැහැර වන්නේ නම් එවිට සැබැවින්ම අපි එහි පිවිසෙන්නෙමු යැයි ඔවුහු පැවසූහ.
آية رقم 23
‘‘නුඹලා ඔවුනට එරෙහි ව දොරටුව වෙත පිවිසෙනු. එසේ නුඹලා එහි පිවිසෙන්නෙහු නම් එවිට සැබැවින්ම නුඹලාමය ජයග්‍රාහකයෝ වන්නේ. තවද නුඹලා දේව විශ්වාසවන්තයින්ව සිටියෙහු නම් අල්ලාහ් කෙරෙහිම (සියල්ල) භාර කරනු යැයි දේව බිය හැඟීමෙන් යුතුව පසුවන්නන් අතුරින් අල්ලාහ් ඔවුන් වෙත ආශිර්වාද කළ මිනිසුන් දෙදෙනක් පැවසුවෝය.
آية رقم 24
අහෝ මූසා ! ඔවුහු එහි සිටින තාක්කල් කිසිවිටෙක අපි එහි නොපිවිසෙන්නෙමු. එබැවින් ඔබ හා ඔබේ පරමාධිපති ගොස් ඔබ දෙපළ (ඔවුන් හා) සටන් වදින්න. සැබැවින්ම අපි මෙහි වාඩි වී සිටින්නෙමු යැයි ඔවුහු පැවසූහ.
آية رقم 25
පරමාධිපතියාණනි !සැබැවින්ම මා හා මාගේ සහෝදරයා හැර (වෙනත් කිසිවෙකු) මට පාලනය කළ නොහැක. එබැවින් අප අතර හා පාපතර පිරිස අතර වෙන් කරනු මැනව ! යැයි (මූසා) පැවසුවේය.
آية رقم 26
සැබැවින්ම එය වසර හතළිහක් ඔවුන් කෙරෙහි වළක්වනු ලැබීය. මිහිතලයේ ඔවුන් ඔබමොබ සැරිසරනු ඇත. එහෙයින් පාපතර පිරිස පිළිබඳව ඔබ දුක් නොවනු යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේය.
آية رقم 27
ආදම්ගේ පුතුන් දෙදෙනාගේ සැබෑ පුවත ඔවුන් කෙරෙහි ඔබ කියවා පෙන්වනු. ඔවුන් දෙදෙනා භාරයක් පිළිගැන් වූ අවස්ථාවේ ඔවුන් දෙදෙනාගෙන් එක් අයකුගෙන් පිළි ගනු ලැබූ අතර අනෙක් අයගෙන් පිළි ගනු නොලැබීය. එවිට (පිළි ගනු නොලැබූ) ඔහු සැබැවින්ම මම ඔබ ව ඝාතනය කරමි යැයි පැවසීය. (භාරය පිළිගනු ලැබූ අය වන) ඔහු අල්ලාහ් පිළිගනුයේ දේව බියබැතිමතුන්ගෙන් යැ යි පැවසීය.
آية رقم 28
මා ඝාතනය කරනු වස් ඔබ ඔබේ අත මා වෙත දිගු කළ ද මා ඔබ ව ඝාතනය කරනු වස් මම මාගේ අත ඔබ වෙත දිගු කරන්නෙකු නොවෙමි. සැබැවින්ම මම ලෝකයන්හි පරමාධිපති අල්ලාහ්ට බිය වෙමි.
آية رقم 29
මාගේ පාපය ද ඔබගේ පාපය ද ඔබ උසුලනු ඇතැයි සැබැවින්ම මම සිතමි. එවිට ඔබ නිරා ගින්නේ සගයින් අතුරින් වනු ඇත. එය අපරාධකරුවන්ගේ ප්‍රතිවිපාකය වෙයි.
آية رقم 30
එවිට තම සහෝදරයා ව ඝාතනය කිරීමට ඔහුගේ ආත්මය ඔහු ව පෙලඹවීය. එහෙයින් ඔහු ඔහු ව ඝාතනය කළේය. එහෙයින් ඔහු අලාභවන්තයින් අතුරින් විය.
آية رقم 31
පසුව තම සහෝදරයාගේ දේහය වසා දැමිය යුත්තේ කෙසේ දැ යි ඔහු ට පෙන්වා දෙනු පිණිස අල්ලාහ් කපුටෙක් එවීය. ඌ පොළොව හෑරීය. අහෝ ! මා මෙම කපුටා මෙන් වන්නට හෝ නොහැකි වූයෙම් ද?. එසේ නම් මම මාගේ සහෝදරයාගේ දේහය වසා දමන්නට තිබුණි යැයි පැවසීය. පසුව ඔහු පසුතැවිලිවන්නන් අතුරින් විය.
آية رقم 32
ඒ හේතුවෙන් ඉස්රාඊල්ගේ දරුවනට සැබැවින්ම ප්‍රාණ ඝාතනයක් හේතුවෙන් හෝ මහපොළොවේ කලහකාරී තත්ත්වයක් හේතුවෙන් හෝ මිස කවරෙකු යම් ආත්මයක් ඝාතනය කළේ ද ඔහු මුළු මිනිස් සමූහයා ඝාතනය කළා හා සමානය. තවද කවරෙකු එය (ආත්මය) ජීවත් කරවන්නේ ද ඔහු මුළු මිනිස් සමූහයා ජීවත් කළා හා සමානය. තවද අපගේ දූතවරු පැහැදිලි සාධක සමඟ සැබැවින්ම ඔවුන් වෙත පැමිණියේය. අනතුරු ව ඔවුන් අතුරින් බොහෝ දෙනා ඉන් පසුවද මිහිතලයේ සීමාව ඉක්මවා කටයුතු කරන්නන් වූහ.
آية رقم 33
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සමඟ සටන් වැද කලහකම් ඇති කරමින් මහපොළොවේ සැරිසරන්නන්ගේ ප්‍රතිවිපාකය වනුයේ ඔවුන් ඝාතනය කරනු ලැබීම හෝ ඔවුන් එල්ලා මරනු ලැබීම හෝ ඔවුන්ගේ අත් හා ඔවුන්ගේ පාද මාරුවෙන් මාරුවට කපා දමනු ලැබීම හෝ එම භූමියෙන් ඔවුන් ව පිටුවහල් කරනු ලැබීමය. එය මෙලොව ඔවුනට වූ අවමානයකි. මතු ලොවෙහි ද ඔවුනට අතිමහත් දඬුවමක් ඇත.
آية رقم 34
නමුත් නුඹලා ඔවුන් කෙරෙහි බලය යෙදවීමට පෙර පාප ක්ෂමා ඉල්ලා සිටියවුන් හැර. එබැවින් නුඹලා දැන ගනු. සැබැවින්ම අල්ලාහ් අතික්ෂමාශීලීය කරුණා ගුණයෙන් යුක්තය.
آية رقم 35
අහෝ විශ්වාස කළවුනි ! නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද ඔහු වෙතට (සමීප වීමේ) මාධ්‍යයන් නුඹලා සොයනු. ඔහුගේ මාර්ගයේ නුඹලා කැප වනු. නුඹලාට ජය අත්පත් කර ගත හැකිය.
آية رقم 36
සැබැවින්ම ප්‍රතික්ෂේප කළවුන්, ඔවුනට මහපොළොවේ ඇති සියල්ල තිබී ඒ සමඟම ඒ හා සමාන දෑ ද තිබී මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවමින් මිදීමට එය ඔවුහු වන්දි වශයෙන් කැප කළ ද ඔවුන්ගෙන් එය පිළි ගනු නොලැබේ. තවද ඔවුනට වේදනා සහගත දඞුවමක් ඇත.
آية رقم 37
ඔවුහු (නිරා) ගින්නෙන් බැහැර වීමට ප්‍රිය කරති. නමුත් ඔවුන් එයින් බැහැරවන්නන් නොවෙති. තවද ඔවුනට නිත්‍ය ක්‍රියාත්මක දඬුවමක් ඇත.
آية رقم 38
හොරෙක් හෝ හෙරක් ඔවුන් උපයා ගත් දෑ ට ප්‍රතිවිපාකයක් වශයෙන් අල්ලාහ්ගෙන් වූ දඬුවමක් ලෙසින් නුඹලා ඔවුන් දෙපළගේ අත් කපා දමනු. තවද අල්ලාහ් සර්ව බලධාරීය. සර්ව ප්‍රඥාවන්තය.
آية رقم 39
නමුත් තම අපරාධයෙන් පසුව කවරෙකු පශ්චාත්තාප වී හැඩ ගැසුණේද එවිට සැබැවින්ම අල්ලාහ් ඔහු වෙත සමාව පිරිනමයි. සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. කරුණා ගුණයෙන් යුක්තය.
آية رقم 40
අහස්හි හා මිහිතලයේ ආධිපත්‍යය සැබැවින්ම අල්ලාහ් සතු බව නුඹ නොදන්නෙහි ද? ඔහු කැමති අය ව දඬුවමට ලක් කරනු ඇත. තවද ඔහු කැමති අයට සමාව දෙනු ඇත. තවද අල්ලාහ් සියලු දෑ කිරීමෙහි ශක්තිවන්තය.
අහෝ දූතය ! අපි විශ්වාස කළෙමු යැ යි ඔවුන්ගේ මුවින් පවසා ඔවුන්ගේ හදවත් විශ්වාස නොකළවුන් හා යුදෙව් බවට පත් වූවන් අතුරින් දේව ප්‍රතික්ෂේපයේ යුහුසුලු ව ක්‍රියා කරන්නන් නුඹ ව දුකට පත් නොකළ යුතුය. ඔවුහු මුසා බසට සවන් දෙන්නෝ වෙති. ඔබ වෙත නොපැමිණි සෙසු පිරිසට (ඔබ ගැන දොස් පැවසීම පිණිස ද ඔබට) සවන් දෙන්නෝ වෙති. තවද ඔවුහු (දේව) වැකි එහි නියමිත ස්ථානයෙන් වෙනස් කොට “මෙය නුඹලාට දෙනු ලැබුවේ නම් එය නුඹලා ගනු. එය නුඹලාට දෙනු නොලැබුවේ නම් නුඹලා වැළකී සිටිනු” යැයි පවසති. අල්ලාහ් කවරෙකු පිරික්සීමට සිතුවේ ද එවිට අල්ලාහ්ගෙන් වූ කිසිවකින් (ඔහු ව වැළැක්වීමට) නුඹ බලය නොදරන්නේමය. ඔවුන්ගේ හදවත් පිරිසිදු කරලීමට අල්ලාහ් නොසිතූ අය මොවුන්ය. ඔවුනට මෙලොවෙහි අවමානය ඇත. තවද මතු ලොවෙහි අතිමහත් දඬුවමක් ද ඇත.
آية رقم 42
ඔවුහු මුසා බසට සවන් දෙන්නන් වූහ. තහනම් කළ දෑ අනුභව කරන්නන් වූහ. එබැවින් ඔවුන් නුඹ වෙත පැමිණියේ නම් ඔවුන් අතර තීන්දු දෙනු. නැතිනම් ඔවුන් ව නුඹ නොසලකා හරිනු. එසේ නුඹ ඔවුන් ව නොසලකා හැරියේ නම් නුඹට කිසිදු හානියක් සිදු කිරීමට ඔවුනට නොහැක්කේමය. තවද නුඹ තීන්දු දෙන විට ඔවුන් අතර සාධාරණ අයුරින් තීන්දු දෙනු. සැබැවින්ම අල්ලාහ් සාධාරණ ව කටයුතු කරන්නන් ප්‍රිය කරයි.
آية رقم 43
නුඹ ව තීරකයකු වශයෙන් ඔවුන් ගනුයේ කෙසේද (හේතුව) ඔවුන් අබියස තව්රාතය තිබී එහි අල්ලාහ්ගේ තීන්දුව ද තිබියදී ඉන් පසුව ඔවුහු (එයට) පිටුපෑහ. ඔවුහු විශ්වාසවන්තයින් නොවෙති.
آية رقم 44
සැබැවින්ම අපි තව්රාතය පහළ කළෙමු. එහි මඟ පෙන්වීම හා ආලෝකය විය. එමගින් (අල්ලාහ්ට) අවනත වූ දේව පණිවිඩකරුවෝ යුදෙව්වූවනට තීන්දු ලබා දුන්හ. රබ්බානිවරු (හෙවත් දේව බිය හැඟීමෙන් යුක්ත අය)ද අහ්බාර්(හෙවත් විද්වතුන්)ද අල්ලාහ්ගේ ග්‍රන්ථය ආරක්ෂා කළ යුතු යැයි නියම කරනු ලැබූ බැවින් ද ඔවුහු එයට සාක්ෂිකරුවන් වූ බැවින් ද (ඔවුහු එමගින් තීන්දු දුන්හ.) එබැවින් නුඹලා මිනිසුනට බිය නොවනු. තවද මට ම බිය වනු. තවද මාගේ වදන් අල්ප මිලට නොවිකුණනු. කවරෙකු අල්ලාහ් පහළ කළ දැයින් තීන්දු ලබා නොදුන්නේ ද එවිට ඔවුහුමය දේව ප්‍රතික්ෂේපකයෝ.
آية رقم 45
සැබැවින් ම ප්‍රාණයට ප්‍රාණය, ඇසට ඇස, නාසයට නාසය, කනට කන, දතට දත, තුවාල වලට (තුවාල) යනාකාරයෙන් කිසාස් (හෙවත් සමප්‍රතිචාර දැක්වීම) අපි එහි ඔවුනට නියම කළෙමු. නමුත් කවරෙකු එය (සමප්‍රතිචාර දැක්වීම) දානයක් ලෙස අතහැර දැමුවේ නම් එවිට එය ඔහුට හිලව්වක් වනු ඇත. අල්ලාහ් පහළ කළ දැයින් කවරෙකු තීන්දු ලබා නොදුන්නේ ද එවිට ඔවුහුමය අපරාධකරුවෝ.
آية رقم 46
තමන් අතර තිබූ තව්රාතය සත්‍ය කරවන්නෙකු ලෙස මර්යම්ගේ පුත් ඊසා ව ඔවුන්(කලින් සිටි නබිවරුන්)ගේ පියවරෙහි අපි අනුපිළිවෙලින් එව්වෙමු. තවද ඔහුට ඉන්ජීලය ද පිරිනැමුවෙමු. එහි යහමඟක් හා ආලෝකයක් විය. තවද තමන් අතර තිබූ තව්රාතය සත්‍යකරවන්නක් ද විය. තවද (එය) බිය බැතිමතුන් හට මඟ පෙන්වීමක් හා උපදෙසක් ද විය.
آية رقم 47
තවද ඉන්ජීල් වැසියන් එහි අල්ලාහ් පහළ කළ දෑ අනුව තීන්දු ලබා දෙත්වා. අල්ලාහ් පහළ කළ දෑ අනුව කවරෙකු තීන්දු ලබා නොදුන්නේ ද එවිට ඔවුහුමය පාපතරයෝ.
තවද සත්‍යයෙන් යුතු මෙම ග්‍රන්ථය අපි ඔබ වෙත පහළ කළෙමු. එය තමන් අතර තිබූ (පෙර පහළ වූ) දේව ග්‍රන්ථය සත්‍ය කරවන්නකි. තවද ඒවා ආරක්ෂා කරන්නකි. එබැවින් අල්ලාහ් පහළ කළ දැයින් නුඹ ඔවුන් අතර තීන්දු ලබා දෙනු. නුඹ වෙත පැමිණි සත්‍ය දැයින් ඉවත් ව ඔවුන්ගේ ආශාවන් නුඹ පිළි නොපදිනු. නුඹලා අතුරින් සෑම ප්‍රජාවකටම ආගමික පිළිවෙතක් හා ක්‍රියාමාර්ගයක් ඇති කළෙමු. අල්ලාහ් සිතුවේ නම් නුඹලා ව එකම ප්‍රජාවක් බවට පත් කරන්නට තිබුණි. එනමුත් නුඹලාට පිරිනැමූ දෑ හි නුඹලා ව පිරික්සනු පිණිසය (මෙලෙස සිදු කළේ.) එබැවින් යහකම් කිරීමට නුඹලා යුහුසුලු වනු. නුඹලා සියල්ලගේ නැවත යොමු වීම අල්ලාහ් වෙතය. එබැවින් කවර විෂයක නුඹලා මතභේද වී සිටියෙහු ද එවැනි දෑ නුඹලාට ඔහු දන්වා සිටියි.
آية رقم 49
අල්ලාහ් පහළ කළ දෑ අනුව ඔවුන් අතර නුඹ තීන්දු ලබා දෙනු. ඔවුන්ගේ ආශාවන් නුඹ අනුගමනය නොකරනු. තවද අල්ලාහ් නුඹ වෙත පහළ කළ ඇතැම් දැයින් නුඹ ව ඔවුන් වෙනතකට යොමු කිරීමෙන් නුඹ ඔවුන්ගෙන් ප්‍රවේශම් වනු. ඔවුන් පිටුපෑවෙහු නම් ඔවුන්ගේ ඇතැම් පාපයන් හේතුවෙන් ඔවුන් ව හසු කර ගැනීමට අල්ලාහ් ප්‍රිය කරන්නේ යැයි දැන ගනු. තවද සැබැවින්ම ජනයා අතුරින් බොහෝ දෙනා පාපතරයෝ වෙති.
آية رقم 50
ඔවුන් සොයන්නේ අඥාන යුගයේ තීන්දු ද? තරයේ විශ්වාස කරන පිරිසට තීරක වශයෙන් අල්ලාහ්ට වඩා අලංකාර වන්නේ කවුරුද?!
آية رقم 51
අහෝ ! විශ්වාස කළවුනි, යුදෙව්වන් හා කිතුනුවන් සමීප මිතුරන් ලෙස නොගනු. (ඔබට එරෙහි වීමේදී) ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුගේ සමීප මිතුරන් වෙති. නුඹලා අතුරින් කවරෙකු ඔවුන් ව සමීප මිතුරන් ලෙස ගත්තෙහු ද එවිට සැබැවින්ම ඔහු ද ඔවුන් අතුරින් කෙනෙකු වෙයි. සැබැවින්ම අල්ලාහ් අපරාධකාර ජනයාට මඟ නොපෙන්වයි.
آية رقم 52
තම හදවත් වල රෝග ඇත්තවුන් වන ඔවුහු ඔවුන් අතර යුහුසුලුව කටයුතු කරනු නුඹ දකිනු ඇත. (ඔවුන් සමඟ අමනාප වූ විට) අපට දුෂ්කරතා හට ගනු ඇතැයි අපි බියවීමු යැයි පවසති. අල්ලාහ් (තමන් සිතන පරිදි) ජයග්‍රහණය හෝ ඔහුගෙන් වූ නියමයක් හෝ ගෙන දෙනු ඇත. එවිට ඔවුන්ගේ හදවත් තුළ ඔවුන් සඟවා සිටි දෑ කෙරෙහි ඔවුහු පසුතැවිලි වන්නන් බවට පත් වෙති.
آية رقم 53
සැබැවින්ම තමන් නුඹලා සමඟ යැයි අල්ලාහ් නමින් දිවුරා ඉතා උනන්දුවෙන් දිවුරා සිටියවුන් මොවුහු දැ යි විශ්වාස කළවුන් විමසා සිටිති. ඔවුන්ගේ ක්‍රියාවන් නිෂ්ඵල විය. එහෙයින් ඔවුන් අලාභවන්තියන් බවට පත් වූහ.
آية رقم 54
අහෝ ! විශ්වාස කළවුනි, නුඹලා අතුරින් කවරෙකු තම දහමින් හැරී යන්නේ ද එවිට අල්ලාහ් තවත් පිරිසක් ගෙන එනු ඇත. ඔහු ඔවුන් ව ප්‍රිය කරයි. ඔවුහු ද ඔහු ව ප්‍රිය කරති. දේව විශ්වාසයන් සමඟ යටහත් පහත්ව කටයුතු කරති. දේව ප්‍රතික්ෂේපකයින් සමඟ ඉතා දැඩි ව සිටිති. අල්ලාහ්ගේ මාර්ගයේ කැප වෙති. කිසිදු දොස් පවසන්නෙකුගේ දොසට බිය නොවෙති. එය අල්ලාහ්ගේ භාග්‍යයයි. තමන් අභිමත කරන අයට ඔහු එය පිරිනමයි. තවද අල්ලාහ් සර්ව ව්‍යාපකය. සර්වඥානීය.
آية رقم 55
සැබැවින්ම නුඹලාගේ (මිතුරු) භාරකරු වන්නේ අල්ලාහ් ද ඔහුගේ ධර්ම දූතයාණන් ද (අල්ලාහ්ගේ නියෝගයන්ට) හිස නමන්නන් ලෙසින් සලාතය විධිමත් ව ඉටු කර zසකාත් ලබා දෙන දේව විශ්වාසවන්යින් ද වෙති.
آية رقم 56
තවද කවරෙකු අල්ලාහ් ද ඔහුගේ ධර්ම දූතයාණන් ද තවද විශ්වාස කළවුන් ද තම භාරකරුවන් ලෙස ගන්නේ ද ඔවුහුමය අල්ලාහ්ගේ කණ්ඩායම වන්නේ. ඔවූහුමය ජයග්‍රහකයෝ.
آية رقم 57
අහෝ ! විශ්වාස කළවුනි, දේව ග්‍රන්ථය දෙනු ලැබූ අය හා දේව ප්‍රතික්ෂේපකයින් අතුරින් නුඹලාගේ දහම විහිළුවට හා සෙල්ලමට ගත් අය ව නුඹලා (මිත්‍ර පාක්ෂික) භාරකරුවන් ලෙස නොගනු. තවද නුඹලා විශ්වාසවන්තයින් වූයෙහු නම් අල්ලාහ්ට බිය හැඟීමෙන් යුක්ත වනු.
آية رقم 58
නුඹලා සලාතය වෙත කැඳවන විට එය ඔවුහු විහිළුවට හා සෙල්ලමට ගන්නෝය. එය සැබැවින්ම ඔවුහු වටහා නොගන්නා පිරිසක් වන බැවිනි.
آية رقم 59
දේව ග්‍රන්ථ හිමියනි, අල්ලාහ් ද අප වෙත පහළ කරනු ලැබූ දෑ ද මීට පෙර පහළ කරනු ලැබූ දෑ ද අප විශ්වාස කළ හේතුවෙන් මිස වෙන කවර කරුණක් හේතුවෙන් නුඹලා අපෙන් පළිගන්නෙහු ද? යැයි (නබිවරය!) නුඹ අසනු. තවද සැබැවින්ම නුඹලාගෙන් වැඩිදෙනා පාපතරයෝය.
آية رقم 60
(නබිවරය!) අල්ලාහ් අබියසින් එයට වඩා දරුණු ප්‍රතිඵලයක් ගැන මම නුඹලාට දන්වා සිටින්න දැ?යි අසනු. අල්ලාහ් කවරෙකුට ශාප කළේ ද තවද ඔහු කවුරුන් වෙත කෝප වූයේ ද තවද ඔවුන් අතුරින් වඳුරන් හා ඌරන් බවට ඔහු පත් කළේ ද නපුරු බලවේග වලට යටහත් වූයේ ද, ඔවුහුමය නිලයෙන් වඩාත් දරුණු (පහත්ම) අය වන්නෝ. තවද නිවැරදි මාර්ගයෙන් වඩාත් මුළාවූවන් වන්නෝ.
آية رقم 61
තවද ඔවුහු නුඹලා වෙත පැමිණි විට අපි විශ්වාස කළෙමු යැයි පැවසූහ. ඇත්තෙන්ම ඔවුහු දේව ප්‍රතික්ෂේපය සමඟ පිවිසුණහ. තවද ඔවුහු පිටත් වූයේ ද ඒ සමඟමය. ඔවුන් වසන් කරමින් සිටි දෑ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය.
آية رقم 62
(නබිවරය !) ඔවුන් අතුරින් බොහේ දෙනා පාපකම්හි ද ද්‍රෝහිකම්හි ද තහනම් දෑ අනුභව කිරීමෙහි ද යුහුසුලු ව කටයුතු කරනු නුඹ දකිනු ඇත. ඔවුන් කරමින් සිටි දෑ ඉතා නපුරු විය.
آية رقم 63
ඔවුන් පාප වදන් පැවසීමෙන් ද තහනම් දෑ ඔවුන් අනුභව කිරීමෙන් ද ආගමික නායකයෝ හා විද්වත්හු ඔවුන් ව වැළකිය යුතු නොවේ ද ඔවුන් සිදු කරමින් සිටි දෑ නපුරු විය.
අල්ලාහ්ගේ අත බැඳ දමනු ලැබ ඇතැයි යුදෙව්වෝ පවසති. ඔවුන්ගේ අත්ය බැඳ දමනු ලැබ ඇත්තේ. ඔවුන් පැවසූ දෑ හේතුවෙන් ඔවුන් ශාප කරනු ලැබීය. එසේ නොව ඔහුගේ දෑත් දිගු හරිනු ලැබ ඇත. ඔහු සිතන පරිදි වියදම් කරයි. (නබිවරය) නුඹගේ පරමාධිපති වෙතින් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ ඔවුන්ගෙන් බොහෝ දෙනාට සීමාව ඉක්මවා යෑම හා ප්‍රතික්ෂේපය සැබැවින්ම වර්ධනය කළේය. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින දක්වා අපි ඔවුන් අතර සතුරුකම හා ක්‍රෝධය හෙළුවෙමු. ඔවුන් යුද ගිනි අවුළන සෑම අවස්ථාවකම අල්ලාහ් එය නිමා දැමුවේය. ඔවුහු මිහිතලයේ කලහකම් කරමින් සැරිසරති. තවද අල්ලාහ් කලහකාරීන් ව ප්‍රිය නොකරයි.
آية رقم 65
දේව ග්‍රන්ථ හිමියනි, ජනයා විශ්වාස කොට දේව බිය හැඟීමෙන් යුතුව කටයුතු කළේ නම් ඔවුන්ගේ පාපකම් ඔවුන්ගෙන් අපි පහ කොට ඔවුන් ව සැප පහසුකම් වලින් යුත් ස්වර්ග උයන් වලට අපි ඇතුළත් කරන්නෙමු.
آية رقم 66
තවද තව්රාතය ද ඉන්ජීලය ද තම පරමාධිපතිගෙන් ඔවුන් වෙත පහළ කරනු ලැබූ දෑ ද ඔවුහු ක්‍රියාත්මක කළේ නම් ඔවුනට ඉහළින් ද ඔවුන්ගේ පාද වලට යටින් ද ඔවුහු භුක්ති විඳින්නට තිබුණි. ඔවුන් අතුරින් යහමඟ ගිය සමූහයක් ද විය. ඔවුන්ගෙන් බොහෝ දෙනා කරන දෑ නපුරු විය.
آية رقم 67
අහෝ ! රසූල්වරය, නුඹගේ පරමාධිපති වෙතින් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ දන්වා සිටින්න. තවද නුඹ එසේ නොකළේ නම් එවිට ඔහුගේ දූත මෙහෙවර නුඹ දැන්වූයේ නැත. තවද අල්ලාහ් නුඹ ව ජනයාගෙන් ආරක්ෂා කරයි. සැබැවින්ම අල්ලාහ් දේව ප්‍රතික්ෂේපිත ජනයාට මඟ නොපෙන්වයි.
آية رقم 68
දේව ග්‍රන්ථ හිමියනි, නුඹලා තව්රාතය ද ඉන්ජීලය ද නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා වෙත පහළ කරනු ලැබූ දෑ ද ක්‍රියාත්මක කරන තෙක් නුඹලා කිසිවක් මත නොමැත යැයි (නබිවරය,) නුඹ පවසනු. තවද නුඹගේ පරමාධිපතිගෙන් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ ඔවුන්ගෙන් බහුතරයකගේ සීමාව ඉක්මවා යෑම හා ප්‍රතික්ෂේපය වර්ධනය කළේය. එබැවින් දේව ප්‍රතික්ෂේපිත ජනයා කෙරෙහි නුඹ දුක් නොවනු.
آية رقم 69
නියත වශයෙන් ම විශ්වාස කළවුන් ද යුදෙව් වූවන් ද සාබිඌන් වරුන් ද කිතුනුවන් ද ඔවුන් අතුරින් අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කොට දැහැමි ක්‍රියාවන් කළ අයට (මරණින් මතු ජීවිතය පිළිබඳ ව) කිසිදු බියක් නොමැත. තව ද ඔවුහු (මෙලොව අත හැර ගිය දෑ පිළිබඳ ව) දුක ට පත්වන්නෝ ද නොවෙති.
آية رقم 70
සැබැවින් අපි ඉස්රාඊල් දරුවන්ගෙන් ප්‍රතිඥාවක් ගතිමු. තවද අපි ඔවුන් වෙත දූතවරු එවීමු. ඔවුන් ආශා නොකරන දෙයක් දූතයකු ඔවුන් වෙත ගෙන ආ සෑම කල්හි ම පිරිසක් ඔවුහු බොරු කළෝය. තවද පිරිසක් ඔවුහු ඝාතනය කළෝය.
آية رقم 71
තමන්ට කිසිදු පිරික්සුමක් නොවනු ඇතැයි ඔවුහු සිතූහ. එහෙයින් ඔවුහු අන්ධ වූහ. බිහිරි වූහ. ඉන්පසුව ද අල්ලාහ් ඔවුනට සමාව දුන්නේය. පසුව ද ඔවුන්ගෙන් වැඩි දෙනා අන්ධ වූහ. බිහිරි වූහ. තවද අල්ලාහ් ඔවුන් කරන දෑ පිළිබඳ ව සුපරික්ෂාකරීය.
آية رقم 72
නියත වශයෙන්ම අල්ලාහ් වනුයේ මර්යම්ගේ පුත් මසීහ් යැයි පැවසූ අය ප්‍රතික්ෂේපකයින් බවට පත් වූහ. ඉස්රාඊල් දරුවනි, මාගේ පරමාධිපති ද නුඹලාගේ පරමාධිපති ද වන අල්ලාහ්ට නුඹලා ගැතිකම් කරනු යැයි මසීහ් පැවසුවේය. සැබෑ කරුණ නම් කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේ ද එවිට අල්ලාහ් ඔහුට ස්වර්ගය තහනම් කළේය. තවද ඔහු ලැඟුම් ගන්නා ස්ථානය නිරය වේ. අපරාධකරුවන්ට උදව් කරන්නන් කිසිවකු නොමැත.
آية رقم 73
සැබැවින්ම අල්ලාහ් තිදෙනාගෙන් තුන්වැන්නා යැයි පැවසූ අය ද ප්‍රතික්ෂේපකයින් බවට පත් වූහ. එකම දෙවියන් (අල්ලාහ්) හැර වෙනත් දෙවියෙකු නොමැත. ඔවුන් පවසන දැයින් නොවැළකුණේ නම් ඔවුන් අතුරින් ප්‍රතික්ෂේප කළවුනට වේදනීය දඬුවමක් නියත වශයෙන්ම ස්පර්ශ වනු ඇත.
آية رقم 74
ඔවුන් අල්ලාහ් වෙත හැරී පශ්චාත්තාප වී ඔහුගෙන් සමාව ඉල්ලා සිටිය යුතු නොවේ ද? තවද අල්ලාහ් අතික්ෂමාශීලීය. අසමසම කරුණාන්විතය.
آية رقم 75
මර්යම්ගේ පුත් මසීහ් රසූල්වරයකු මිස නැත. ඔහුට පෙර ද රසූල්වරු(බොහෝ දෙනෙකු) ඉකුත් ව ගොස් ඇත. ඔහුගේ මව සත්‍යවන්තියකි. දෙදෙනාම ආහාර අනුභව කරන්නන් වූහ. ඔවුනට එම සාධක අපි පැහැදිලි කරනුයේ කෙසේදැ යි අවධානයෙන් බලනු. පසුව ඔවුන් වෙනතකට හැරී යන්නේ කෙසේ දැ යි ද අවධානයෙන් බලනු.
آية رقم 76
අල්ලාහ්ගෙන් තොරව නුඹලාට කිසිදු හානියක් හෝ කිසිදු ප්‍රයෝජනයක් හෝ කිරීමට බලය නොමැති දෑට නුඹලා ගැතිකම් කරන්නෙහු දැ යි (නබිවරය!) නුඹ අසනු. තවද අල්ලාහ් වන ඔහු සර්ව ශ්‍රාවකය. සර්වඥානීය.
آية رقم 77
දේව ග්‍රන්ථ හිමියනි, නුඹලා නුඹලාගේ දහමෙහි සත්‍ය නොවන දෑ(පැවසීමෙ)හි සීමාව ඉක්මවා නොයනු. මීට පෙර නොමඟ ගිය ජනයාගේ ආශාවන් අනුගමනය නොකරනු. ඔවුන් බොහෝ දෙනාව නොමඟ යැවූ අතර ඔවුහු ද නිවැරදි මාර්ගයෙන් නොමඟ ගියහැයි (නබිවරය !) නුඹ පවසනු.
آية رقم 78
ඉස්රාඊල්ගේ දරුවන් අතුරින් ප්‍රතික්ෂේප කළවුන් දාවූද් හා මර්යම්ගේ පුත් ඊසාගේ දිවෙන් ශාප කරනු ලැබීය. එය ඔවුන් පිටුපෑ හේතුවෙන් හා සීමාව ඉක්මවා කටයුතු කරමින් සිටි හේතුවෙනි.
آية رقم 79
ඔවුන් කළ පිළිකුල් සහගත දැයින් ඔවුන් එකිනෙකා වළක්වා නොගත්හ. ඔවුන් කරමින් සිටි දෑ නපුරු විය.
آية رقم 80
ඔවුන්ගෙන් බොහෝ දෙනා ප්‍රතික්ෂේප කළවුන් ව මිතුරු පාක්ෂකයින් ලෙස ගැනීම නුඹ දකිනු ඇත. ඔවුන්ගේ ආත්මාවන් ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් කළ දෑ නපුරු විය. හේතුව ඔවුන් කෙරෙහි අල්ලාහ් කෝප විය. ඔවුහු දඬුවමෙහි සදාතනිකයෝ වෙති.
آية رقم 81
ඔවුහු අල්ලාහ් ව ද නබිවරයා ව ද ඔහු වෙත පහළ කරනු ලැබූ දෑ ද විශ්වාස කරමින් සිටියෙහු නම් ඔවුහු ඔවුන් ව මිතුරු පාක්ෂිකයින් ලෙස නොගනු ඇත. නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනා පාපතරයෝය.
آية رقم 82
(නබිවරය,) ජනයා අතුරින් විශ්වාසකළවුනට සතුරුකමින් වඩා දරුණු අය ලෙස නුඹ යුදෙව්වන් හා දේව ආදේශ කළවුන් දකිනු ඇත. තවද මිතුරුකමින් විශ්වාස කළවුනට වඩාත් සමීපතයින් ලෙස සැබැවින්ම අපි කිතුනුවෝ වෙමු යැයි පැවසූ අය නුඹ දකිනු ඇත. හේතුව ඔවුන් අතර උගත් ගුරුවරුන් ද පූජකයින් ද සිටින බැවිනි. එමෙන්ම ඔවුහු උඩගු නොවෙති.
آية رقم 83
රසූල්වරයාට පහළ කරනු ලැබූ දෑ ඔවුහු සවන් දුන් විට සත්‍යය ඔවුහු වටහා ගත් හේතුවෙන් ඔවුන්ගේ ඇස් වලින් කඳුළු හැළෙනු නුඹ දකිනු ඇත. තවද අපගේ පරමාධිපතියාණනි, අපි විශ්වාස කළෙමු. එබැවින් අප ව සාක්ෂි දරන්නන් සමඟ සටහන් කරනු මැනව!යි පවසති.
آية رقم 84
අල්ලාහ් හා සත්‍යයෙන් යුතුව අප වෙත පැමිණි දෑ අප විශ්වාස නොකර සිටීමට අපට කුමක් වී ද? තවද අපගේ පරමාධිපති දැහැමි ජනයා සමඟ අප ව ද ඇතුළත් කිරීම අපි ප්‍රිය කරන්නෙමු.
آية رقم 85
ඔවුහු පැවසූ දෑ හේතුවෙන් පහළින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන් අල්ලාහ් ඔවුනට කුසල් වශයෙන් පිරිනැමීය. ඔවුහු එහි සදාතනිකයෝය. එය යහකම් කරන්නන්ගේ ප්‍රතිඵලය වේ.
آية رقم 86
අපගේ වදන් බොරු කොට ප්‍රතික්ෂේප කළවුන්, ඔවුහුමය නිරයේ සගයෝ.
آية رقم 87
අහෝ ! විශ්වාස කළවුනි, නුඹලාට අල්ලාහ් අනුමත කළ දැයින් යහපත් දෑ නුඹලා තහනම් කර නොගනු. තවද නුඹලා සීමාව ඉක්මවා නොයනු. සැබැවින්ම සීමාව ඉක්මවා කටයුතු කරන්නන් ව අල්ලාහ් ප්‍රිය නොකරයි.
آية رقم 88
තවද අල්ලාහ් නුඹලාට පිරිනැමූ දැයින් අනුමත පිරිසිදු දෑ නුඹලා අනුභව කරනු. නුඹලා කවරෙකු විශ්වාස කරමින් සිටින්නේ ද එවන් අල්ලාහ්ට නුඹලා බිය බැතිමත් වනු.
آية رقم 89
නුඹලාගේ දිවුරීම්හි නිකරුණේ පවසන දෑ වෙනුවෙන් අල්ලාහ් නුඹලා ව ග්‍රහණය නොකරයි. නමුත් නුඹලා ව ඔහු ග්‍රහණය කරනුයේ ස්ථීර කරමින් පවසන දිවුරීම් වෙනුවෙනි. (එසේ වරදක් සිදු වූ විටක) එවිට එහි වන්දිය වනුයේ නුඹලාගේ පවුලට ආහාර වශයෙන් නුඹලා මධ්‍යස්ථ ව ලබා දෙන දැයින් දුගියන් දස දෙනෙකුට ආහාර සැපයීමය. නැතහොත් ඔවුනට ඇඳුම් ලබා දීමය. එසේත් නැතහොත් වහලෙකු නිදහස් කිරීමය. නමුත් එය නොලැබූ අය දින තුනක් උපවාසයේ නියැළිය යුතුය. නුඹලා දිවුරා සිටියේ නම් නුඹලාගේ දිවුරීම් වලට වන්දිය වනුයේ එයයි. තවද නුඹලාගේ දිවුරීම් ආරක්ෂා කරනු. නුඹලා කෘතවේදී වනු පිණිස අල්ලාහ් නුඹලාට ඔහුගේ වදන් පැහැදිලි කරනුයේ එලෙසය.
آية رقم 90
අහෝ විශ්වාසකළවුනි ! සුරාව සූදුව පිළිම වන්දනාව හා පේන බැලීම ෂෙයිතාන්ගේ ක්‍රියාවෙන් පිළිකුල් සහගත දෑ ය. එබැවින් නුඹලා ජයග්‍රහණය ලැබිය හැකි වනු පිණිස නුඹලා එයින් වැළකී සිටිනු.
آية رقم 91
ෂෙයිතාන් අපේක්ෂා කරනුයේ සුරාව හා සූදුව තුළින් නුඹලා අතර සතුරුකම හා ක්‍රෝධය ඇති කිරීමත් අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් හා සලාතයේ නිරත වීමෙන් නුඹලා ව වළකාලීමත්ය. එබැවින් නුඹලා එයින් වැළකිය යුත්තන් නොවේ ද?
آية رقم 92
තවද නුඹලා අල්ලාහ් ට අවනත වනු. තවද රසූල්වරයාට ද අවනත වනු. ප්‍රවේශමෙන් කටයුතු කරනු. හේතුව නුඹලා පිටුපෑවෙහු නම් අපගේ දූතයාණන් වෙත පැවරෙනුයේ පැහැදිලි ව දන්වා සිටීම පමණක් බව නුඹලා දැන ගනු.
آية رقم 93
විශ්වාස කොට යහකම් කළවුන් කෙරෙහි ඔවුන් තමන් ව (පාපයෙන්) ආරක්ෂා කොට විශ්වාස කොට යහකම් කර පසුව තමන් ව (තහනම් කළ දැයින්) ආරක්ෂා කොට විශ්වාස කොට පසුව තමන් ආරක්ෂා කොට දැහැමි කටයුතු කළ විට (තහනම් කළ දෑ හි) ඔවුන් භුක්ති විඳී දෑ සම්බන්ධයෙන් ඔවුනට වරදක් නැත. තවද අල්ලාහ් දැහැමි කටයුතු කරන්නන් ව ප්‍රිය කරයි.
آية رقم 94
අහෝ ! විශ්වාස කළවුනි, (නුඹලා ඉහ්රාම් තත්ත්වයේ සිටිය දී) නුඹලාගේ දෑතට හා නුඹලාගේ හී වලට පහසුවෙන් හසුවන දඬයම් සතෙකුගෙන් අල්ලාහ් නුඹලා ව පිරික්සුමට ලක් කරනු ඇත. එය තමන් ඉදිරියේ නොසිටිය දී කවරෙකු තමන්ට බිය වන්නේ දැ යි අල්ලාහ් දැන ගනු පිණිසය. එබැවින් ඉන් පසුව කවරෙකු සීමාව ඉක්මවා කටයුතු කළේ ද එවිට ඔහුට වේදනීය දඬුවමක් ඇත.
අහෝ විශ්වාස කළවුනි, නුඹලා ඉහ්රාම් තත්ත්වයේ සිටිය දී දඬයම් (කර) සතුන් මරා නොදමනු. නුඹලා අතුරින් කවරෙකු උවමනාවෙන්ම එය මරා දැමුවේ ද එවිට ප්‍රතිචාරය වනුයේ (ඔටු ගව හා එළු වැනි) ගොවිපළ සතුන්ගෙන් මරා දැමූ දෑ මෙන් දෙයකි. ඒ පිළිබඳ ව නුඹලා අතුරින් යුක්ති ගරුක දෙදෙනෙකු තීන්දු දෙනු ඇත. එය කඃබාවට ළඟා විය යුතු කැපයක් ලෙසිනි. එසේ නොමැති නම් වන්දි වශයෙන් දුගියන්ට ආහාර සැපයිය යුතු ය. එසේත් නොමැති නම් තමන් කළ කරුණෙහි බරපතළකම විඳිනු පිණිස ඒ වෙනුවට උපවාසයේ නිරත විය යුතුය. පෙර සිදු වූ දෑට අල්ලාහ් සමාව දුන්නේය. නමුත් කවරෙකු යළිත් සිදු කළේද එවිට අල්ලාහ් ඔහු(කළ වරද)ට ප්‍රතිචාර දක්වනු ඇත. තවද අල්ලාහ් සර්ව බලධාරීය. (කළ වරදට) ප්‍රතිචාර දක්වන්නාය.
آية رقم 96
නුඹලා හා නුඹලාගේ ප්‍රවාහන සතුන් භුක්ති විදිනු පිණිස මුහුදු සතුන් දඬයම් කිරීම හා එය ආහාරයට ගැනීම නුඹලාට අනුමත කරන ලදී. නමුත් ඉහ්රාම් තත්ත්වයේ සිටින කල්තාක් ගොඩබිම සතුන් දඬයම් කිරීම නුඹලාට තහනම් කරන ලදී. තවද නුඹලා කවරෙකු වෙත එක් රැස් කරනු ලබන්නෙහු ද එවන් අල්ලාහ්ට නුඹලා බිය බැතිමත් වනු.
آية رقم 97
පාරිශුද්ධ නිවස වන කඃබාව ජනයාට (යහපත සැලසීම සඳහා) සදා ක්‍රියාත්මක වන්නක් බවට පත් කළේය. එමෙන්ම සත්ව කැපය ද (කුර්බාන් සඳහා) සලකුණු තබන ලැබූ දෑ ද (ආරක්ෂා සහගත ව තබා ඇත.) එය සැබැවින්ම අල්ලාහ් අහස්හි ඇති දෑ ද මහපොළොවෙහි ඇති දෑද දන්නා බව නුඹලා දැන ගනු පිණිසය. තවද සැබැවින්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්වඥානීය.
آية رقم 98
දැන ගනු. සැබැවින්ම අල්ලාහ් දඬුවම් කිරීමෙහි ඉතා දැඩිය. එමෙන්ම සැබැවින්ම අල්ලාහ් අතික්ෂමාශීලී කරුණා ගුණයෙන් යුක්තය.
آية رقم 99
(දේව පණිවිඩ) දන්වා සිටීම මිස වෙන කිසිවක් රසූල්වරයා වෙත පැවරී නොමැත. තවද අල්ලාහ් නුඹලා හෙළි කරන දෑ ද වසන් කරන දෑ ද දන්නේය.
آية رقم 100
(නබිවරය !) නපුරු දෑ බහුල ව තිබීම නුඹ ව මවිතයට පත් කළ ද නපුරු දෑ හා යහපත් දෑ සමාන නොවන්නේ යැයි පවසනු. එබැවින් බුද්ධිය ඇත්තනි, නුඹලා ජයග්‍රහණය ලැබිය හැකි වනු පිණිස අල්ලාහ්ට බිය බැතිමත් වනු.
آية رقم 101
අහෝ ! විශ්වාස කළවුනි, (වැඩකට නැති) ඇතැම් කරුණු පිළිබඳ ව නුඹලා නොවිමසනු. එය නුඹලාට හෙළි වූයේ නම් නුඹලාට හානිදායක වනු ඇත. අල් කුර්ආනය පහළ කරනු ලබමින් තිබිය දී එය නුඹලා විමසා සිටියේ නම් නුඹලාට එය හෙළි වනු ඇත. අල්ලාහ් එයට සමාව දුන්නේය. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය. ඉවසිලිවන්තය.
آية رقم 102
නුඹලාට පෙර වූ ජනයා (තම නබිවරුන්ගෙන් මෙලෙස) විමසා සිටියහ. පසුව ඒ හේතුවෙන් ඔවුහු (එය ඉටු කර ගත නොහැකි ව) දේව ප්‍රතික්ෂේපකයින් බවට පත් වූහ.
آية رقم 103
බහීරා (හෙවත් කන් ඉරා දමන ලද ඔටු දෙන) හෝ සාඉබා (හෙවත් ස්වයං ව තම ආහාරය සපයා ගන්නා ඔටු දෙන) හෝ වසීලා (හෙවත් පිළිම වලට භාර කරනු ලැබූ එළුවන්) හෝ හාමි (හෙවත් කිසිදු වැඩක් නොලබා ම අත හැර දමන ලද පිරිමි ඔටුවන්) හෝ යන දෑ (ආගමික කටයුත්තක් බවට) අල්ලාහ් පත් නොකළේය. නමුත් දේව ප්‍රතික්ෂේප කළවුන්ය අල්ලාහ් කෙරෙහි (මෙසේ) බොරු ගොතා පවසනුයේ. තවද ඔවුන්ගෙන් වැඩි දෙනා වටහා නොගනිති.
آية رقم 104
අල්ලාහ් පහළ කළ දෑ වෙත ද රසූල්වරයා වෙත ද නුඹලා පැමිණෙනු යැයි ඔවුනට පවසනු ලැබූ විට අපගේ මුතුන් මිත්තන් කවර කරුණක් මත සිටිනු අප දුටුවෙමු ද එය අපට ප්‍රමාණවත් වේ යැයි ඔවුහු පවසති. ඔවුන්ගේ මුතුන් මිත්තන් කිසිවක් නොදැන සිටියදීත් ඔවුන් යහමඟ ගමන් නොකර සිටියදීත් (ඔවුන් ව ඔවුහු පිළිපදින්නෙහු) ද?
آية رقم 105
අහෝ ! විශ්වාසකළවුනි, නුඹලා ගැන නුඹලා ම (නොමඟ යෑමෙන්) ප්‍රවේශම් වනු. නුඹලා යහමඟ ගමන් ගත්තෙහු නම් නොමඟ ගියවුන් නුඹලාට හානි සිදු නොකරනු ඇත. නුඹලා සියලු දෙනා නැවත යා යුතු ස්ථානය ඇත්තේ අල්ලාහ් වෙතය. නුඹලා කරමින් සිටි දෑ පිළිබඳ ව ඔහු නුඹලාට දන්වා සිටියි.
آية رقم 106
අහෝ ! විශ්වාස කළවුනි, නුඹලාගෙන් කිසිවකුට මරණය පැමිණි විට ඔහු අන්තිම කැමැත්ත පවසන අවස්ථාවේ නුඹලාගෙන් යුක්තිගරුක දෙදෙනෙකු නුඹලා අතර සාක්ෂි වශයෙන් සිටිය යුතුය. නැතහොත්, නුඹලා මිහිතලයේ ගමනක නියැළී මරණයේ අභාග්‍යය නුඹලාට අත් වූයේ නම් (මුස්ලිම්වරුන් වන නුඹලා අතුරින් සාක්ෂිකරුවන් නොමැති විටක) නුඹලා නොවන වෙනත් දෙදෙනකු සාක්ෂි වශයෙන් සිටිය යුතුය. නුඹලා (මොවුන් ගැන) සැක සිතන්නෙහු නම් සලාතයෙන් පසුව ඔවුන් දෙදනා රඳවා ගනු. අපි මෙ(සේ සාක්ෂි පැවසීම)මගින් කිසිදු මිලක් ලබා නොගනිමු. ඔහු සමීප ඥාතියකු වුව ද අල්ලාහ් වෙනුවෙන් සාක්ෂි පැවසීමෙහි කිසිවක් වසන් නොකරන්නෙමු. සැබැවින්ම අපි එවිට පාපතරයින්ගෙන් වන්නෙමු යැයි අල්ලාහ් මත ඔවුන් දෙදෙනා දිවුරා සිටිය යුතුය.
آية رقم 107
සැබැවින්ම ඔවුන් දෙදෙනා පාපයට සුදුස්සන් යැයි හඳුනා ගනු ලැබූ විටක තමන්ට උරුමය ලැබිය යුතු යැයි පවසන අය අතුරින් වෙනත් සමීප ඥාතීන් දෙදෙනකු (ද්‍රෝහිකම් කළ) ඔවුන් දෙදෙනාගේ ස්ථානයේ සිට ඔවුන් දෙදෙනාගේ සාක්ෂියට වඩා අපගේ සාක්ෂිය ඉතා නිවැරදිය. අපි සීමාව ඉක්මවා කටයුතු නොකළෙමු. සැබැවින්ම අපි එවිට අපරාධකරුවන් අතුරින් වන්නෙමු යැයි ඔවුන් දෙදෙනා දිවුරා සිටිය යුතුය.
آية رقم 108
එය, සාක්ෂිය එහි නියම මුහුණුවරින් ගෙන යෑමටත් ඔවුන්ගේ දිවුරීමට පසුව (තමන්ගේ) දිවුරුම ප්‍රතික්ෂේප කරනු ලැබේවි යැයි ඔවුන් බියවීමටත් ඉතා පහසු මාර්ගයකි. තවද අල්ලාහ්ට බිය බැතිමත් වනු. සවන් දෙනු. තවද අල්ලාහ් පාපතර පිරිසට මඟ නොපෙන්වයි.
آية رقم 109
(නබිවරය !) අල්ලාහ් ධර්ම දූතවරු එක්රැස් කරනු ලබන දින නුඹලා(ගේ ප්‍රචාරය)ට පිළිතුරු දෙනු ලැබුවේ කුමක්දැ යි විමසයි. අපට කිසිදු දැනුමක් නොමැත. ගුත්ප දෑ පිළිබඳ සර්වඥ වනුයේ ඔබය යැයි ඔවුහු පවසති.
එවිට අල්ලාහ් මෙසේ පවසයි. අහෝ ! මර්යම්ගේ පුත් ඊසා, ඔබ වෙත හා ඔබගේ මව වෙත වූ මාගේ ආශිර්වාදය ගැන සිහිපත් කරනු. පාරිශුද්ධ ආත්මය තුළින් මම නුඹට උපකාර කළ අවස්ථාවද සිහිපත් කරනු. තොටිල්ලෙහි ද තරුණ වියෙහි ද ජනයා සමඟ නුඹ කතා කළෙහිය. තවද මම නුඹට ධර්මය ද ප්‍රඥාව ද තව්රාතය ද ඉන්ජීලය ද ඉගැන් වූ අවස්ථාව ද සිහිපත් කරනු. මාගේ අනුහසින් පක්ෂියකුගේ හැඩයකින් යමක් මැටියෙන් තනා ඒ තුළ නුඹ පිඹූ විට මාගේ අනුහසින් එය පක්ෂියකු බවට පත් වූ අවස්ථාවද සිහිපත් කරනු. තවද මාගේ අනුමැතියෙන් සුදු කුෂ්ට හා කළු කුෂ්ට රෝග සුව කළෙහිය. මාගේ අනුහසින් මියගියවුන් නුඹ බැහැර කළ අවස්ථාව ද සිහිපත් කරනු. (එසේ) පැහැදිලි සාධක ඉස්රාඊල් දරුවන්ට නුඹ ගෙනැවිත් ඔවුන් අතුරින් ප්‍රතික්ෂේප කළවුන් මෙය පැහැදිලි හූනියමක් මිස නැතැයි පැවසූ විට මා ඔවුන් ව මැඩලූ අවස්ථාව ද සිහිපත් කරනු.
آية رقم 111
මා හා මාගේ රසූල්වරයා ව විශ්වාස කරනු යැයි අනුගාමිකයින් වෙත මා දන්වා සිටි විට ඔවුහු “අපි විශ්වාස කළෙමු. තවද සැබැවින්ම අපි (අල්ලාහ්ට අවනත වූ) මුස්ලිම්වරු වන්නෙමු” යැයි පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
آية رقم 112
අහෝ ! මර්යම්ගේ පුත් ඊසා, අහසින් ආහාර බන්දේසියක් අප වෙත පහළ කිරීමට නුඹගේ පරමාධිපතිට හැකියාව ඇත්තේදැ යි විමසා සිටි විට නුඹලා විශ්වාසවන්තයින්ව සිටියෙහු නම් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු යැයි ඔහු පවසා සිටි අවස්ථාව සිහිපත් කරනු.
آية رقم 113
අපි එයින් අනුභව කොට අපගේ හදවත් සැනසුමට පත්වන්නටත් ඔබ අපට සත්‍ය පවසා ඇති බවට අප දැන ගන්නටත් ඒ කෙරහි අපද සාක්ෂිකරුවන් අතුරින් වන්නටත් කැමැත්තෙමු යි ඔවුහු පැවසූහ.
آية رقم 114
මර්යම්ගේ පුත් ඊසා, අහෝ ! අපගේ පරමාධිපතියාණනි, අප වෙත අහසින් ආහාර බන්දේසියක් පහළ කරනු මැනව ! එය අපටත් අපට පෙර වූ අයටත් අපගෙන් පසුව පැමිණෙන්නන්ටත් සැමරුමක් වනු ඇත. තවද එය ඔබගෙන් වූ සාක්ෂියක් ද වනු ඇත. තවද අපව පෝෂණය කරනු මැනව ! පෝෂණය කරන්නන්ගෙන් වඩාත් ශ්‍රේෂ්ඨ වනුයේ ඔබය. යැයි පැවසුවේය.
آية رقم 115
සැබැවින්ම මම එය නුඹලා වෙත පහළ කරමි. නමුත් නුඹලාගෙන් පසුව කවරෙකු ප්‍රතික්ෂේප කරන්නේ ද එවිට සැබැවින්ම ලෝවැසියන් අතුරින් කිසිවකුටත් මා දඬුවම් නොදුන් දඬුවමකින් මම දඬුවම් කරමි.
آية رقم 116
අහෝ ! මර්යම්ගේ පුත් ඊසා, අල්ලාහ් හැර මා හා මාගේ මව දෙවියන් දෙදෙනකු ලෙස ගන්නැ යි නුඹ ජනයාට පැවසුවේදැ යි අල්ලාහ් පවසන විට ඔහු “ඔබ අතිපිවිතුරුය. මට උරුම නොමැති දෙයක් මා පැවසීමට මට (කිසිදු අයිතියක්) නොමැත. එය මම පවසන්නෙකු ව සිටියේ නම් ඔබ එය දැන සිටින්නෙහිය. මාගේ සිත තුළ ඇති දෑ ඔබ දන්නෙහිය. ඔබේ සිත තුළ ඇති දෑ මම නොදනිමි. සැබැවින්ම ඔබ ගුප්ත දෑ පිළිබඳ සර්වඥය” යැයි පැවසුවේය.
آية رقم 117
මාගේ පරමාධිපති හා නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්ට ගැතිකම් කරනු යැයි ඔබ නියෝග කළ දෑ පරිදි මිස ඔවුනට මම (වෙන කිසිවක්) නොපැවසුවෙමි. ඔවුන් අතර මා සිටී තාක් ඔවුන් කෙරෙහි මම සාක්ෂිකරුවකුව සිටියෙමි. නමුත් ඔබ මා (ඉහළට ඔසවා) අත්පත් කර ගත් කල්හි ඔවුන් වෙත අධීක්ෂකයා වූයේ ඔබය. තවද ඔබ සියලු දෑ කෙරෙහි සාක්ෂිකරුය.
آية رقم 118
ඔබ ඔවුනට දඬුවම් කරන්නෙහි නම් සැබැවින්ම ඔවුන් (ඔබට අයිති) ඔබගේ ගැත්තන්ය. තවද ඔබ ඔවුනට සමාව දුන්නෙහි නම් සැබැවින්ම ඔබ සර්ව බලධාරී සියුම් ඥානය ඇත්තාය. (යැයි පවසයි)
آية رقم 119
සත්‍යවාදීන් ඔවුන්ගේ සත්‍යය පල දෙන දිනය මෙය වේ. ඔවුනට ඊට පහළින් ගංගාවන් ගලා බස්නා (ස්වර්ග) උයන් ඇත. එහි ඔවුහු සදාතනිකයෝය. අල්ලාහ් ඔවුන් ව පිළිගත්තේය ඔවුහුද ඔහු ව පිළිගත්තෝය. එයයි මහත් වූ ජයග්‍රහණය වනුයේ.
آية رقم 120
අහස්හි ද මිහිතලයෙහි ද ඒවායෙහි ඇති දෑ හි ද ආධිපත්‍යය අල්ලාහ් සතුය. ඔහු සියලු දෑ කිරීමෙහි ශක්තිවන්තය.
تقدم القراءة