ترجمة معاني سورة الملك باللغة السنهالية من كتاب الترجمة السنهالية
فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
ﰡ
آية رقم 1
ආධිපත්‍යය තම අතෙහි ඇත්තා විභූතිමත් විය. තවද ඔහු සියලු දෑ කෙරෙහි බලසම්පන්නය.
آية رقم 2
ඔහු වනාහි මරණය සහ ජීවය මැව්වේ ය. (මන්ද) නුඹලා අතුරින් කවරෙකු ක්‍රියාවෙන් වඩාත් දැහැමි දැයි ඔහු නුඹලා ව පරීක්ෂා කරනු පිණිසය. තවද ඔහු සර්ව බලධාරීය. අතික්ෂමාශීලීය.
آية رقم 3
ඔහු වනාහි අහස් (එකිනෙක උඩ පිහිටන සේ) තල වශයෙන් මැව්වේය. කරුණාවන්තයාගේ මැවීම්හි පලුදු කිසිවක් නුඹ නොදකිනු ඇත. එහෙයින් යම් පලුද්දක් නුඹ දකින්නේ දැයි නෙත් යොමු කර බලනු.
آية رقم 4
පසුවද නුඹ දෙමුරයක් නෙත් යොමු කර බලනු. එම නෙත් නුඹ වෙත එය වෙහෙසට පත් තත්ත්වයේ අවමානයෙන් යුතු ව යටහත් පහත් ව හැරෙනු ඇත.
آية رقم 5
තවද සැබැවින්ම අපි මෙලොව අහස පහන් මගින් අලංකාරවත් කළෙමු. ඒවා ෂෙයිතානුන්ට අස්ත්‍රයක් බවට අපි පත් කළෙමු. තවද අපි ඔවුනට ඇවිළෙන ගින්නේ දඬුවම ද සූදානම් කර ඇත්තෙමු.
آية رقم 6
එමෙන්ම තම පරමාධිපති ව ප්‍රතික්ෂේප කළවුනට නිරයේ දඬුවම ඇත. තවද (ඔවුහු) යොමු වන ස්ථානය නපුරු විය.
آية رقم 7
ඔවුන් එහි දමනු ලැබූ කල්හි ඔවුහු එහි (බූරු හඬ මෙන්) හුස්ම ගන්නා පිළිකුල් හඬකට සවන් දෙති. තවද එය උතුරමින් පවතී.
آية رقم 8
එය කෝපයෙන් පිපිරෙන්නාක් මෙනි. එහි පිරිසක් දමනු ලැබූ සෑම විටකම “අවවාද කරන්නෙකු නුඹලා වෙත නොපැමිණියේ දැ?”යි එහි භාරකරුවෝ ඔවුන්ගෙන් විමසති.
آية رقم 9
“එසේය. අප වෙත අනතුරු අඟවන්නෙකු සැබැවින්ම පැමිණියේය. එවිට අපි බොරු යැයි පැවසුවෙමු තවද අල්ලාහ් කිසිදු දෙයක් පහළ කර නැත. නුඹලා මහත් වූ මුළාවේ මිස නැතැයි” අපි කීවෙමුයි ඔවුහු පවසති.
آية رقم 10
අප සවන් දෙමින් හෝ අවබෝධ කර ගනිමින් සිටියෙමු නම් දැවෙන ගින්නේ සහකාරයින්ගෙන් අප නොවන්නෙමුයි ඔවුහු කියති.
آية رقم 11
ﯷﯸﯹﯺﯻ
ﯼ
එවිට ඔවුහු තම වරද පිළිගනිති. එහෙයින් දැවෙන ගින්නේ සහකාරයින්ට ශාපය වේවා!
آية رقم 12
නියත වශයෙන්ම අදෘශ්‍යමානයෙහි තම පරමාධිපතිට බිය වන අය වනාහි ඔවුනට සමාව හා මහත් වූ තිළිණයක් ඇත.
آية رقم 13
නුඹලාගේ ප්‍රකාශයන් රහසිගත ව කියනු. නැතහොත් එය හඬ නගා කියනු. නියත වශයෙන්ම ඔහු සිත්හි ඇති දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
آية رقم 14
(සියල්ල) මැවූ ඔහු (අභ්‍යන්තරය පිළිබඳ ව) නොදන්නේද? ඔහු සියුම් ඥානීය. අභිඥානවන්තය. (යැයි දැනගනු.)
آية رقم 15
නුඹලාට මහපොළොව (ගමන් කිරීමට) පහසු අයුරින් පිහිටුවාලූයේ ඔහුය. එහෙයින් එහි පැතිකඩ වල නුඹලා ගමන් කරනු. තවද ඔහුගේ පෝෂණයෙන් අනුභව කරනු. තවද ඔහු වෙතය නැවත නැගිටුවනු ලබනුයේ.
آية رقم 16
මහපොළොව දෙදරී යන විට අහසේ සිටින්නා නුඹලා එය තුළට ගිල්වීමෙන් නුඹලා සුරක්ෂිත දැයි සිතන්නෙහිද?
آية رقم 17
එසේ නැතහොත් අහසෙහි සිටින්නා ගල් කුණාටුවක් නුඹලා වෙත එවීමෙන් නුඹලා සුරක්ෂිත දැයි සිතන්නෙහු ද? එවිට මාගේ අනතුරු ඇඟවීම කෙසේ දැයි නුඹලා මතු දැන ගනු ඇත.
آية رقم 18
තවද සැබැවින්ම ඔවුනට පෙර සිටියවුන් බොරු කළහ. එවිට මාගේ උදහස කෙසේ වී ද?
آية رقم 19
ඔවුනට ඉහළින් පක්ෂීන් තම පියාපත් දිගු හරිමින් හා හකුළුවාලමින් සිටිනු ඔවුහු නුදුටුවෝද ? උන් රඳවා තබනුයේ අර්-රහ්මාන් (අපරිමිත දයාන්විතයාණන්) මිස අන් කිසිවෙකු නොවෙයි. නියත වශයෙන්ම ඔහු සෑම දෙයක් පිළිබඳ ව සර්ව නිරීක්ෂකය.
آية رقم 20
අර්-රහ්මාන් (අපරිමිත දායන්විතයාණන්) හැර නුඹලාට උදව් කරන සේනාව කවරෙකු ද? ප්‍රතික්ෂේපකයින් මුළාවෙහි මිස නැත.
آية رقم 21
නැතහොත් (අර් රහ්මාන්) ඔහුගේ පෝෂණය ඔහු නතර කළේ නම් නුඹලාට පෝෂණය සපයනුයේ කවරෙකු ද? නමුත් ඔවුහු සත්‍ය යෙන් දුරස් ව සීමාව ඉක්මවීමෙහි හා (සත්‍යයෙන්) පලා යෑමෙහි එල්බගෙන සිටිති.
آية رقم 22
තම මුහුණ මුණින් අතට වැටී ඇවිදින්නා ද එසේ නැතහොත් කෙළින් ඍජු මාර්ගය මත ඇවිදින්නා ද ඍජු මාර්ගයක සිටිනුයේ ?
آية رقم 23
නුඹලා මවා නුඹලාට ශ‍්‍රවණය ද දෘෂ්ටි ද හදවත් ද ඇති කළේ ඔහුය. නුඹලා ගුණ ගරුක වනුයේ ස්වල්පයකි යැයි (නබිවරය) නුඹ කියනු.
آية رقم 24
නුඹලා මහපොළොවෙහි විසුරුවා හැරියේ ඔහුය. තවද ඔහු වෙතය නුඹලා එක්රැස් කරනු ලබනුයේ යැයි (නබිවරය) නුඹ පවසනු.
آية رقم 25
තවද නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මෙම පොරොන්දුව (ඉටු කරනු ලබනුයේ) කවදා දැ?යි ඔවුහු ප්‍රශ්න කරති.
آية رقم 26
(එයට) නියත වශයෙන්ම (මේ ගැන) දැනුම ඇත්තේ අල්ලාහ් වෙතය. තවද නියත වශයෙන්ම මම පැහැදිලි අනතුරු අඟවන්නෙකු පමණකියි (නබිවරය) නුඹ කියනු.
آية رقم 27
එය කිට්ටුවෙන්ම ඔවුන් දකින කල්හි ප‍්‍රතික්ෂේප කළවුන්ගේ මුහුණු නරක් වී යයි. තවද මෙය නුඹලා (ඉක්මන් කරන්නැයි) වාද කරමින් සිටි දෑ යැයි එවිට ඔවුනට කියනු ලැබේ.
آية رقم 28
(නබි මුහම්මද්) මා හා මා සමග සිටින අය අල්ලාහ් විනාශ කළේ නම් හෝ නැතහොත් අප වෙත ඔහු දයාව දැක් වූයේ නම් හෝ වේදනීය දඬුවමින් ප‍්‍රතික්ෂේපකයින් ගලවා ගන්නේ කවුරුන් දැයි නුඹලා සිතා බැලුවෙහු දැ?යි (ඔවුන්ගෙන්) අසනු.
آية رقم 29
(ඔහු) අර්-රහ්මාන් (අපිරිමිත දයාන්විතයා) ඔහුය. අපි ඔහු ගැන විශ්වාස කළෙමු. තවද ඔහු වෙතම බලාපොරොත්තු තබන්නෙමු. එහෙයින් කවරෙකු ප‍්‍රකට නොමගෙහි දැයි නුඹලා මතු දැන ගනු ඇත. යැයි (නබි මුහම්මද්) කියනු.
آية رقم 30
නුඹලාගේ ජලය (මහපොළොව තුළට) කිඳා බැස්සේ නම් ගලා යන දිය දහර නුඹලාට ලබා දෙන්නේ කවුරුන් දැ?යි නුඹලා සිතා බැලුවෙහු දැ?යි (නබි මුහම්මද්) අසනු.
تقدم القراءة